හාමුදුරුවන්ගේ
සහ
ජනාධිපතිතුමාගේ ආදර්ශය
වේලාවක් තිබුණෙ නැහැ. ඒ තරමට වැඩ”
වැඩක් අතපසු වූ විට බොහෝ දෙනා පවසන්නේ මෙවැන්නකි. සාමාන්‍ය ලිපිකරුවන්ට මතු නොව
රජයේ උසස් නිලධාරීන්ට, ලේකම්වරුන්ට වැඩක් කරන්නට ඉස්පාසුවක් නැත. ඒ තරමට ම වැඩ ය.
“මේ දවස්වල ඔලුව උස්සන්න බැහැ. එහෙත් ඡන්ද... මෙහෙන් අමාත්‍යංශ වැඩ. වෙලාවක් ඇත්තෙම
නැහැ.’
ඡන්ද දායකයෙක් යම් අවශ්‍යතාවකට කථා කළ විට අපේ මැති ඇමැතිවරුන් බොහෝ දෙනකුගෙන් ද
ලැබෙන්නේ එවන් පිළිතුරකි.
ශ‍්‍රී ලංකාවේ දැනට සිටින වැඩ අධිකම පුද්ගලයා කවුද?
හැම තත්පරයකම ඉහළම වටිනාකමක් ඇති පුද්ගලයා කවුද?
නිසැකවම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ය.
ඒත් එතුමාට හැම එකකටම වෙලාවක් තිබේ. අන්තර්ජාතික මට්ටමේ ප‍්‍රශ්න ගැන පමණක් නොව
දෙපාර්තමේන්තුවක වැටුප් ප‍්‍රශ්නයක් ගැන වෘත්තිය සමිති ප‍්‍රශ්නයක් ගැන පවා අවධානය
යොමු කරන්නට එතුමාට සිදුව තිබේ.
ඒ සඳහා ද වෙලාවක් ඇත. එ පමණක් නොව හිතවතකුගේ,
කලාකරුවකුගේ මාධ්‍යවේදියකු ගේ අසනීපයකදී වෛද්‍යවරුන් ලවා පිළිසරණක් ලබා දීමට ද
එතුමාට වෙලාවක් ඇත. ඇතැම් විට අවමඟුලකට අවධානය යොමු කොට මල් වඩමක් යවන්නට එසේ ම
උපන් දිනයක් නම් දුරකථනය ගෙන සුබ පතන්නට ද එතුමාට වෙලාවක් ඇත.
මේ අපූරු චරිත ලක්ෂණය ගැන අලුත් ම නිදර්ශනය හෙළිදරව් වූයේ ගම්පහ බණ්ඩාරනායක විදුහල
ආශ‍්‍රයෙනි.
එම විදුහලේ විදුහල්පති ලබුතලේ සුදස්සන හිමිපාණෝ ද අපූරු චරිත ලක්ෂණ ඇති යතිවරයෙකි.
පසුගිය දිනෙක උන් වහන්සේ ගේ ආදර්ශමත් කි‍්‍රයාවක් ගැන ‘දිනමිණ’ පුවත්පතෙහි එක්
සංවේදී ප‍්‍රවෘත්තියක් පළ වී තිබිණි.
එහි සිරස්තලය යටතේ පළ වී තිබුණේ විදුහලේ සිසු
දරුවන් වෙනුවෙන් ගොඩනඟන පිහිනුම් තටාකයේ වැඩ අවසන් කිරීම සඳහා අවශ්‍ය මුදල්
නොමැතිකමින් සිසුන් ද ආදි සිසුන් ද දුර්මුඛවූ මොහොතක තම පෞද්ගලික මෝටර් රථය සිසු
දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට විදුහල්පති ස්වාමීන් වහන්සේ ගත් ආදර්ශමත් පියවර
පිළිබඳව ය. එය අලුත් ම මෝටර් රථයකි.
බොහෝ විදුහල්පතිවරුන් විදුහල්පතිනියන් ආදි
ශිෂ්‍ය සංගම්වලින් තම පෞද්ගලික පාවිච්චිය සඳහා මෝටර් රථයක් ඉල්ලමින් මැසිවිලි
නගද්දී ගම්පහ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පති හාමුදුරුවෝ තමන් වහන්සේ ගේ මෝටර් රථය
හාරදහසක් වූ සිසු දරුවන්ගේ යහපත වෙනුවෙන් ප‍්‍රදානය කළහ.
ඒ එය ප‍්‍රථම ත්‍යාගය වශයෙන් ගෙන ලොතරැයියක් සංවිධානය කොට පිහිනුම් තටාකය වෙනුවෙන්
අවශ්‍ය ඉතිරි මුදල සපයා ගැනීම පිණිස ය.
පසුගිය සිකුරාදා පළවී තිබුණු මෙකී ප‍්‍රවෘත්තිය දුටු ජනාධිපතිතුමා සියලු වැඩ
රාජකාරි අතරතුරේ හිමිදිරියේ විදුහල්පති ස්වාමීන් වහන්සේට දුරකථනයෙන් කතා කොට මේ සත්
කි‍්‍රයාව ඉතා ඉහළින් අගය කළේ ය.
මෙම සිද්ධියෙහි මෙකල අසන්නට නොලැබෙන ආදර්ශමත් කි‍්‍රයා දෙකක් අන්තර්ගතව ඇත. ඉන්
පළමුවැන්න විදුහල්පති වරයෙක් තම විදුහලේ දරුවන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ අලුත්ම
මෝටර් රථය පරිත්‍යාග කිරීම ය.
දෙවැනි ආදර්ශමත් කි‍්‍රයාව නම් මේ කි‍්‍රයාවේ ඇති විශිෂ්ටත්වය දුටු ජනාධිපතිතුමා ඒ
මොහොතේ ම කතා කොට ඒ කි‍්‍රයාව පිළිබඳ තම නොමඳ සතුට පළ කරමින් ඇගැයීම ය.
රටේ නායකයා වශයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම පිළිබඳ ප‍්‍රශ්න, මානව
හිමිකම් උල්ලංඝනය පිළිබඳව ඇතැම් විදේශ බලවේග විසින් මතුකරනු ලබන චෝදනා,
ත‍්‍රස්තවාදී ක‍්‍රියා නිසා විපතට පත් දෙමළ වැසියන් ගලවා ගැනීමේ ප‍්‍රයත්නය විවිධ
දේශපාලන පක්ෂ විසින් ඇති කරනු ලබන පීඩනය, විවිධ විදේශ සංවිධාන සහ බලවේග විසින් ඇති
කරනු ලබන පීඩනය, පළාත් සභා ඡන්ද නිසා ඇති වී තිබෙන උණුසුම් වාතාවරණය රාජ්‍ය
මට්ටමෙන් සහ පෞද්ගලික මට්ටමෙන් එල්ලවන චෝදනා පිළිබඳ ප‍්‍රශ්න, මේ සියල්ල තිබියදී මේ
ප‍්‍රවෘත්තිය දුටු සැණින් ඒ පිළිබඳව හිමිදිරියේ ම විදුහල්පති ස්වාමීන් වහන්සේට කතා
කරන්නට තරම් ඉස්පාසුවක්, වේලාවක් තිබීම විශ්වාස කළ නොහැකි තරම් වූ සිද්ධියකි.
සැබෑ නායකයකු වනාහි බලය නැති විට නොව බලය ඇති විට ද ජනතාවට සමීපවන්නා වූ
පුද්ගලයෙකි. බලය නැති විට කරට අත දමන බලය ඇති විට නොදුටු සේ ඉවත බලාගෙන යන නායකයන්
බහුල රටක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දුන් මේ මහඟු ආදර්ශය අනෙකුත් පක්ෂ විපක්ෂ
දේශපාලකයන්ට මතු නොව ඉහළ නිලධාරින්ට ද මහඟු පාඩමකි.
සැබෑ නායකත්වයක සුවිශේෂී ලක්ෂණය වන්නේ බලය ලැබෙන විට ජනතාවගෙන් ඈත් වීම නොව ජනතාවට
වඩාත් සමීප වීම ය. ජනතාවාදී නායකයෙක් බිහි වන්නේ එවිට ය.
මේ ප‍්‍රවෘත්තිය පළ වූ පසු මේ වනවිටත් නිලධාරීන් කී දෙනෙක් විදුහල්පති හාමුදුරුවන්ට
කතා කළා දැයි අපි නොදනිමු. මැති ඇමැතිවරුන් කී දෙනෙක් ඒ ගැන කතා කොට උදවුවක් කිරීමට
සූදානම් යැයි පැවසුවා දැයි අපි නොදනිමු.
එහෙත් අපි එක් දෙයක් දනිමු. ඒ කවුරුන් කතා නොකළත් රටේ නායකයා සියලු වැඩ රාජකාරි
අස්සේ විදුහල්පති හාමුදුරුවන්ට කතා කොට උන් වහන්සේ ගේ සිත තව තවත් ශක්තිමත් කළ බව
ය.
එහෙයින් මේ සිද්ධිය කතුවැකියක් ලෙසින් අප සටහන් කරන්නේ විදුහල්පතිවරයකු ලෙසින්
ලබුතලේ සුදස්සන හිමිපාණන් වහන්සේ ද රටේ නායකයා ලෙසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා
ද පෙන්වූ අපූර්ව සහ ආකර්ශනීය පූර්වාදර්ශ නිසා ය.
|