මධු කුසලාන
උදාර සේවයට උපහාරය
මවුබිම නිදහස් කරගැනීම සඳහා උතුරේ සටන්, වේගයෙන් පවතිද්දී, ආත්ම පරිත්‍යාගයෙන්
රණපිටියෙහි, සයුරෙහි සහ ගොඩබිමෙහි මෙන්ම ගුවනෙහි අභීත සේවයක යෙදෙන සේවා භටයන්
පිළිබඳව මහජන ගෞරවය වැඩිවෙමින් පැවතිණි.
දිවයිනේ විදුහල්වල සිසු පරපුර දැනුවත් කරමින්, සෙබළ පරපුර අගය කරමින්, ඔවුන්ට
අවබෝධයක් ලබාදීමෙහි වෙහෙසෙන ගම්බද විදුහලක විදුහල්පතිවරයා හැඟුම්බර අර්ථවත් පද්‍ය
පන්ති, රචනා කරමින් එම රචනා අගය කරමින් සිසුන් අතර බෙදා දීමෙහි යුහුසුළු විය.
උතුරේ ගුවන් සටන් තදින් ඇවිලෙද්දී, ගුවන් නියමුවන්ගෙන් සිදුවන අනගි සේවය ගැන උදන්
ඇනූ විදුහල්පතිවරයා, කිලිනොච්චිය නිදහස් කරගත් සුන්දර දිනයේ දී තම විදුහලේ සිසු
පරපුර වෙත ඉදිරිපත් කළ ආදර්ශමත් පද්‍ය පන්තියේ පහත සඳහන් කවිය හැමගේම සිත් ගත්තේ ය.
“අකුරට සේවයෙහි යෙදෙන වීර ගුවන් නියමුවා
පොකුරට රුපු බළකොටු ගිනිපිඹ සතුරන් අබිබවා
දකුණෙහි නොව මුළු දිවයින තුළ කිතුරැස් විහිදුවා
කළ බලවිකුමන් සමරා අගයමු උදයද හවා
කිවිපති කලාභූෂණ
කලහේ කුමාරදාස ලියනගේ
සඳුනි අදත් උදාවන්න
සුමුදු සුවඳ විහිඳුවමින් පිච්ච පොකුරු හිනාවෙන්න
කුමුදුමලින් විල් අඟනක නිල් වරලස ගවසගන්න
පුබුදුවමින් සංගීතෙන් වස් කුළලක නද ඇහෙන්න
දුමිඳු ළදලු පත් වියනේ පිණි මුතුකැට මෙන් දිලෙන්න
මලින් මලට අරුණැල්ලේ සමනලුන්ට පියාඹන්න
පලින් පලට එක්තැන් වී නිදිලොව ඉසුඹුව ලබන්න
ගලින් ගලට රිංග රිංග මුණු මුණුවක හඬ නඟන්න
දොළින් දොළට දොළපාරේ සුදෙන් සුදට මල් තබන්න
නිදා සිටින පුංචි පුතුගෙ කිරි සිනාව මතු කරන්න
විදාරණය කරවාගත් පුලුන් වළා තුළ සරන්න
සදාතනික ආදරයට කවුලු පියන්පත් හරින්න
උදානයෙන් රන්තරු මැද සඳුනි අදත් උදා වන්න
යාලගම - එම්.එම්.එස්. බණ්ඩාර
දරු දුක
ගුරු පුද කරන්නට සුළැඟිල්ලක් අඩුව
වැදූ මව මරන්නට වෑයම් කළ නඩුව
දුක් බර කතාවකි හැම බොදු සිත් හැඩුව
අංගුලිමල් පුතේ අවසිහියෙන් දෙඩුව
බිම්සර පිය තුමා සියලුම සැප දුන්න
හිර කර තබා වද දී සම්පත් ගන්න
දෙපතුල් පලා සැලැසූ එක තැන ඉන්න
නුඹ වෙද අජාසත් බොදු සිරිතේ උන්න
දා සෙන් රජුන්ගෙන් උදුරන්නට ධනය
හිටුවා පස් ගසා මරවා කළ විනය
කස්සප පුතේ නුඹෙ සිහිනය සිහ සුනය
ලෝකය කියන්නේ ගුණමකු කම ගැනය
මවු පිය නොසලකා ගිණි දී ගැර හීම
ආනන්තරිය පාපෙකි පල දෙද කෝම
පන්සිල් පද පහේ එක පදයක් තාම
නොම දැන සිටින වග නුඹ පුදුමයි බෝම
වට කරගෙන සිටින පිරිවර තුරුලෙ රැඳී
හරි දෙය මෙයයි මෙය වැරදියි නොබැන හිඳී
ලාබය ප‍්‍රයෝජන මත උන් රගන විදී
වටහා ගන්න තවමත් නුඹෙ සිහිය මදී
සිත් පිත් කඩා රිදවා රුහිරය ඉරුවා
කළ කී කතා සිහිවෙයි වාවනු බැරුවා
පව් නෑ පුතේ ඒ හැම අමතක කෙරුවා
ඊයේ මෙන් අදත් නුඹ අපගේ දරුවා
රත්නා ලංකා අබේවික‍්‍රම |
ජන්ම දින ආරාධනා
සිංහල ජාතික කවි පෙරමුණේ 39 වන සාංවත්සරික උත්සවය අද (22) දංඕවිට
(නුවර පාරේ) ශෛලබිම්බාරාම විහාරස්ථානයේදී පස්වරු 2 ට පැවැත්වේ. මේ කවි පෙළ ඒ
වෙනුවෙනි.
රසකවි වදන් දෙති
කවි කිවිඳියන් හමු වෙති
රස මිහිර විහි දෙති
පැමිණියොත් මන නුවන් සැන සෙති
ජන්ම දින ළඟ ඇති
තිස් නව වසර සපිරෙති
සි.ජා.ක.පෙ. සිරිමති
සරස්වතියගෙ එක දුවක් වෙති
ජන්ම දින උළෙලට
යැවුනි පණිවිඩ කවියට
එහි සිරි විඳින්නට
කරයි ඇරැයුම් පොදුවෙ ඔබ හට
ගුණරත්න දුල්ලෑව
ප‍්‍රධාන ලේකම්
සිංහල ජාතික කවි පෙරමුණ
ලොකු අයියා
(විදුහල්පතිවරයෙක් අධ්‍යාපන පරිපාලන නිලධාරියෙක් වාමාංශික
දේශපාලකයෙන් කවියකු වූ ශාස්ත‍්‍රවේදී ඈතගම ටී.ඩී. අමරසේන මහතාගේ අභාවය නිමිත්තෙනි)
ම’පියා මියැදි පසු පෙම්බර පියෙකු ලෙසින්
දියුණුව වෙතට මුළු පවුලම රැගෙන ගොසින්
කටයුතු කළෙහි ඔබ අයියේ ඒ අනුහසින්
ඔබ සිහි කරන්නෙමි කඳුලැලි පිරුණ ඇසින්
පියමැන පෙරට වම්පස වීරයකු ලෙස
ඔබ ඉටු කළෙහි ජනතාවට අවැසි කිස
වෙහෙසුනි නගන්නට දෙස බස සමඟ රැස
රට ගෞරව කෙරේ නමමින් ඔබට හිස
කලාභූෂණ ඈතගම
ඊබට් අමරසේන
දඟයා

කිරි ඉරූ තොල් සඟල උල් කරන් හුර තලෙන්
දහසකුත් එකක් වැඩ කරයි හරි කල බලෙන්
නැටුම් නාටක මවා සිය සිඟිති රඟ හලෙන්
සුගන්දය කොතරම් ද නගන සමණළ මොළෙන්
තාත්තිගෙ යහළුවන් දඟයාගෙ මිතු රන්ය
අයියාට ළං නොවේ සෙසු ළමයි මසු රන්ය
විටෙක ඔහු සෙබළාය අප ඔහුගෙ සතුරන්ය
තුවක්කුව ‘කොහුමිටය’ ‘ජිල්බෝල’ පතුරන්ය
පාරෙ යන එන අයට ආදරෙන් ඉඟි කරයි
කවුරු ගෙට ගොඩ උනත් ඔහු ගෙ වංහුං සොයයි
පංති යන්නට යද්දි බඩේ ගායක් කියයි
පිට්ටනිය පිති පන්දු දකිනවිට ලෙඩ හොඳයි
හදිස්සියෙ ළඟ තියෙන කඩේකට ගොඩ වෙලා
තාත්තිගෙ නම කියා බිල කියයි හිනැ හිලා
අයියාට ගැහුවෙ ඇයි කෝපයෙන් රතු වෙලා
චන්ඩියා වෙන්න ගොස් ගුටිකන්න සිදු වෙලා
අම්මාගෙ සාරියක් ඉරා ගෙල වට දමා
නගී පොත් මේසයට මිතුරන්ට හිස නමා
මැතිවරණ කාලයට වැඩ ගොඩකි නැත පමා
රජතුමා අපේ දඟයාය ලෝකෙට ළමා
රාජගිරියේ සුනිල් දිසානායක
බැඳගත් බෙරයම ගසමි...
දවසට දහස්වර යළි ඉපදී මැරෙමී
සිත නැති බඹ ලොව හා දිවියම සැරි සරමී
මිහි කත ලෙසින් මහමෙර සරි දුක දරමී
අබැටක වරදකුදු කිසි දින නොම කරමී
කඳුළක් වුවද නොහෙළමි පොළවම සිඹිමී
සුසුමක් වුවද නොහෙළමි අහසම දකිමී
නපුරක් කිසිදු නොසිතමි සැපතම පතමී
මට මක් වුව ද බැඳගත් බෙරයම ගසමී
කොක්මාදූව
නෙළුම් කුමාරි පතිරණ
කුල්ල කියන කතාවක්
පොළමින් සහල් කුඩු සමඟින් සුනු සාල
ඉවතට දැමුව පෙන්වා නෙක නෙක තාල
ගෙයි කුස්සියේ බැබලුණ හැමදෙන ආල
අද කෝ මගෙ මෙහෙය ඉටුවන සුවිසාල
කුඹුරෙන්, ගෙනෙන ලද වී ටික වුව පෙලුවේ
එහි තිබු ‘ඇඟිටි’ වෙන් කර කර යුහු සුලු වේ
ගම හාමිනෙ ගෙ අත්දෙක උඩ හඬ තැලුවේ
මා සිටි නිසයි කවුරුත් බත් රස බැලුවේ
ඇඳ මල් චීත්තය හැට්ටය පබළු වැටී
ලස්සන තරුණියන් පෙන්වා සිනහ කැටී
නටවා උකුල අත් දෙක තුළ නටපු හැටී
මගෙ කුලු නැටුම් තවමත් මුලු ලොවම වටී
අතු පැළ, රජ මැදුර වුව තුළ සැල කිල්ල
නිසි ලෙස ලබා - ලැබදීමෙන් සැන සිල්ල
අද උරුමයක් වුව නැති කුස්සිය මුල්ල
කටුගෙට යැවිය යුතු මම වෙමි නම ‘කුල්ල’
මහඉඳුරුවේ
විලියම් මහඅරඹගේ
අම්මේ මං
සුපුන් සඳක් පහන් ටැඹක් වගේ කැලුම් මවා
සැහැල්ලුවෙන් කිරිල්ලියක් ලෙසේ සිනා සලා
අපේ ලොවේ සෙනේ සුසුම් කුණාටුවක් හෙළා
කොහේද ලෝකයක් සොයා අපේම - දූ ගියා
මගේ පුතේ මගේ මැණික් කැටේ කියා කතා
කරන්නෙ කාටදෝ ඉතින් කියන් දුවේ දයා
සොයා ඇවිත් කියන්නෙපා ‘අම්මේ මං’ කියා
නොඑන් දුවේ යළිත් මෙවන් රුදු ලොවක් සොයා
බදුගම නව නගරයේ
මියුලා බේරුගොඩ

අශේන්, නදිශ්ක ලසන්ත රසික රණවිරු
මල්ලිලාට
දළදා සමිඳු සිරිමා බෝ රුවන් වැටී
සමනොළ සිරස සිප හමනා පවන් ගැටී
සිවුහෙළ දනන් දුන් ආසිරි සවන් වැටී
එනු සොයුරනේ උතුරම ජය අරන් වටී
බදුරලිය - හර්ෂණ ලත්පදුර
වව්නියාවේ සහ මුලතිව්හි සේවය කරන
අයියාට හා මල්ලිට
පවුලෙන් දුර නිසා අප හට දුකක් දැනෙයි
නුඹලා ගැනම හිත ඇතුලේ පැතුම් පිරෙයි
යුද බිම සිටින නුඹලට සම්බුදු සරණයි
සාමයෙ පරවියන් ඉගිලෙන දිනය ළඟයි
වතුහැර - චාන්දනි නංගි
ගම හැර යන සොඳුරු දසුන්
කේතකි ගුහාවෙන් නිම් රේඛා ගලන
බෝවිටියා හිඹුටු දං තරගෙට ඉදෙන
විහඟුන් සරණ දරුවන්ගේ රජ දහන
වන රැජණියනි එනුමැන යළි මෙහි රැගෙන
බොරුපන් පැදුර පිල්කඩ උඩ එලා ගෙන
වරුවක් දෙකක් පොඩිවුන් හා හිනා වෙන
හොඳ හොඳ කතා රසකර කර කියා දෙන
යුගයක් යළිත් ඒවිද ගම සොයා ගෙන
කුරහන් පඳුරු උඩ සීතල පොකුරු ගැහී
මුතු පිනි රටා යායේ හැම තැනම ලෙහී
සඳ ඇති රෑට සවනඟ මී විලස ඉහී
යළි වාසනා ඒ සීපද රාව මෙහී
දින දින අසීමිත බැමි අසහන කාරී
ගම වෙත ඇදී එන හැටි ඉඟියෙන් තේරී
සිරිකත සරසවිය වන විට වන චාරී
කෙළෙසක හසුරුවන්නද කවි සිත මීරී
බුලත්සිංහල සිරි පතිරගේ
අවුරුදු කවි එවන්න
රතුමල් සේල ඇඳ එරබදු ගහත් හැඩයි
කොවුලා නඟන නාදය තාලයට ඇසෙයි
ගම හැඩ වෙලා බක්මහ පිළිගන්න වගෙයි
රසකවි එවනු මැන අවුරුදු ජයෙන් ජයයි
සංස්කාරිකා
මධු කුසලාන
සිළුමිණ කර්තෘ මණ්ඩලය
ලේක්හවුස් - කොළඹ 10
|