පරිණතයෝ
සහ අපරිණතයෝ
මාධ්‍යය සහ දේශපාලනය අතර ගැටුමක් නැති නමුත් මාධ්‍යවේදින් සහ
දේශපාලකයන් අතර ගැටුමක් නැති කාලයක් නොමැති තරම් ය.
මාධ්‍යවේදින් සහ දේශපාලකයන් අතර පවතින මේ ගැටුම නිසා සිදුවන සුන්දරතම දේ නම් එකී
මාධ්‍යවේදින් සහ දේශපාලකයන් ගජමිතුරන් බවට පත්වීම ය.
සර් ජෝන් කොතලාවල සැඩ පරුෂ
දේශපාලකයෙකි. ඔහු විරුද්ධවාදින් ට කටින් පමණක් නොව අතින් පයින් ද පහර දීමට පවා
නොපැකිළෙන චරිතයක් ලෙසින් ඉතිහාසයට එක් වී ඇත.
එහෙත් මාධ්‍ය හරහා තමන් විවේචනය කළ
මාධ්‍යවේදින් සම්බන්ධයෙන් ඔහු දැක්වූ ආකල්පය පිළිබඳ අපූරු කතාබහක් මාධ්‍ය ඉතිහාසයට
එක් වී ඇත. ඒ ප‍්‍රකට කාටුන් ශිල්පියකුව සිටි ජී.එස්. ප‍්‍රනාන්දු පිළිබඳ වූ කතා
පුවතකි.
වරක් ජී.එස්. තම කාටුනයකින් සර් ජෝන් ට නොසෑහෙන ප‍්‍රහාරයක් එල්ල කළේ ය. එය පළවී
ටික දිනකින් ජී.එස්. ට හදිසි පණිවිඩයක් ලැබිණි. ඒ වහාම සර් ජෝන් හමුවන ලෙසිනි.
ජී.එස්. අන්ද මන්ද විය.
සර් ජෝන් තමා කැඳවන්නේ හොඳකට නොවේ යැයි ඔහු සිතුවේ ය.
ජී.එස්, සර් ජෝන් ගේ කඳවල වලව්වට ගියේ මහත් චකිතයකිනි. එහෙත් සර් ජෝන් ගේ
ප‍්‍රතිචාරය ජී.එස්. තුළ ද විමතියක් ඇති කළේ ය.
“උඹේ කාටුන් එක මට දීපං. ඒක මගෙ කාමරේ එල්ල ගන්න ඕනැ. දැන් ඉතිං බිත්තර ආප්ප කාපං”
ජී.එස්. ගේ පිටට තට්ටුවක් දැමු සර් ජෝන් සිනාසෙමින් කීවේ ය. ඒ සර් ජෝන් තමන්
විවේචනය කළ මාධ්‍යවේදියා ට සැලකු අයුරු ය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තරම් මෑත කාලයේ මාධ්‍යවේදින් ගේ ප‍්‍රහාරයට ලක් වූ අන්
කිසිදු දේශපාලකයකු නැති තරම් ය. කාටුන්වලින්, තීරු ලිපිවලින් මෙන් ම දීර්ඝ
විමර්ශනාත්මක ලිපිවලින් ද මහින්ද රාජපක්ෂ නම් වූ දේශපාලන චරිතය පට්ටා නොගැසු දිනයක්
නැති තරම් ය.
එහෙත් ජනාධිපතිවරයා ඒ සියල්ල ඉවසමින් උපේක්ෂා සහගත ව සිටියා පමණක් නොව
එවැනි මාධ්‍යවේදින් ට තමන් ගේ හිත මිතුරන්ට මෙන් සැලකුවේ ය. දිනපතා ම පාහේ තමා ට
දේශපාලන ප‍්‍රහාර එල්ල කරන කාටුන් ශිල්පීන් සුහද සිතින් අරලියගහ මැඳුරට ගෙන්වා කෑම
වේලකින් සංග‍්‍රහ කොට තම මිත‍්‍රත්වය පෙන්වීමට තරම් ජනාධිපතිවරයා මිත‍්‍රශීලි විය.
මාධ්‍යවේදින් ගේ කාර්යභාරය පිළිබඳව පුළුල් දැනුමක් ඇති දේශපාලකයන් හැසිරෙන්නේ එසේ
ය. පරිණත දේශපාලකයෝ විවේචන ඉවසති. කිසි විටෙකත් නොකිපෙති. විවේචනවල තිබෙන ගත යුතු
දේ ගනිති. නොවැදගත් නම් නිහඬවම සිටිති.
එහෙත් අපරිණත දේශපාලකයෝ විවේචන නොඉවසති. කිපෙති. ඔවුහු කිපුණ විට නොකිව යුතු දේ ද
කියති. සියල්ල අවුල්කර ගනිති. නැත හොත් අනා ගනිති.
පසුගිය දිනෙක විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ද එසේ අනාගත්තේ ය. ‘ඩේලි මිරර්’
පුවත්පතේ තමන් පිළිබඳව වූ විවේචනයක් ඉවසා ගත නොහැකිව කෝපාවිෂ්ට වීම නිසා පාවිච්චි
කළ වචනවලින් පමණක් නොව දෑස්වලින් ද කෝපයේ ගින්දර පිටව ගියේ ය. මාධ්‍යවේදියාට සහ
පුවත්පත තුට්ටු දෙකට දැම්මේය.
එය පක්ෂ නායකයකුට, විරුද්ධ පක්ෂ නායකයකුට මෙන් ම රටේ
නායකත්වයට බැල්ම හෙළා සිටින පුද්ගලයකු ට තරම් නොවන දෙයකි. එකී මාධ්‍යවේදියා ට සහ
එකී පුවත්පතේ කතුවරිය ට ප‍්‍රවෘත්ති සාකච්ඡාවේ දී බැන වැදුණු රනිල් වික‍්‍රමසිංහ
මහතා හැසිරුණේ දේශපාලන නායකයකු වශයෙන් නොව ඉතා ප‍්‍රාථමික මට්ටමේ චණ්ඩියකු ලෙසිනි.
සැබැවින් ම චණ්ඩියකු වූ සර් ජෝන් කොතලාවල මහතා මාධ්‍යවේදින් දෙස බැලූ ආකාරය පිළිබඳව
රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත නැවතත් සිතා බැලිය යුතු ය.
පසුගිය කාලය පුරාම රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍ය නිදහස වෙනුවෙන් අතන මෙතැන කෑ
ගැසුවේ ය. විවේචනය කිරීම සඳහා මාධ්‍යවේදින් සතු අයිතිය වෙනුවෙන් පෙනී සිටියේ ය.
එහෙත් තමා විවේචනය කළ මාධ්‍යවේදියාට සහ පුවත්පතට ඔහු තදින් බැණ වැදුණේ ය. විරුද්ධ
පක්ෂ නායකයා තුළ තිබෙන මේ පරස්පරය ඔහුගේ දේශපාලන කුහකත්වය මනාව පෙන්නුම් කෙළේය.
බලය නොමැති විට මාධ්‍යයට සහ මාධ්‍යවේදින් ට සලකන්නේ මෙසේ නම් බලයක් ලැබුණහොත්
මාධ්‍ය නිදහසට සහ මාධ්‍යවේදින් ට අත්වන ඉරණම පිළිබඳව සිතා ගැනීමට අපහසු නැත.
|