උදේ අටට වැඩ බාරගත්තා දහයට වැඩ තහනම් ලියුම ආවා
උදේ අටට වැඩ බාරගත්තා
දහයට වැඩ තහනම් ලියුම ආවා
නිට්ටඹුවේ සංඝබෝධි හිටපු විදුහල්පති
ජිනදාස වන්නිආරච්චි
මොරටුවේ කටුබැද්ද හැබෑවටම බැද්දක් වෙලා තිබූ යුගයෙක ඔහු කටුබැද්දෙදි උපත ලැබුවා.
නවසිය විසි පහේ ජුනි මාසෙ තුන් වැනිදා උපන් ඔහුට මවුපියන් තැබූ නම වන්නිආරච්චි ගේ
ජිනදාස පෙරේරා. පසු කලෙක ඔහු එය ජිනදාස වන්නිආරච්චි ලෙස භාවිතයට ගත්තා.
නිට්ටඹුවේ
සංඝබෝධි මහ විදුහල ඇතුළු විද්‍යාල ගණනාවක විදුහල්පතිවරයා ලෙසත් අධ්‍යාපන
නිලධාරීවරයකු ලෙසත් සේවය කොට විශ‍්‍රාම ලබා ඔහු අද විවේක සුවයෙන් පසු වෙනවා.
ජිනදාස ගේ පියා වන්නිආරච්චිගේ විලියම් පෙරේරා. රජයේ රෝහලක සාත්තු සේවකයෙකු ලෙස
රාජකාරි කළා. අම්මා චින්තාමනි මොහොට්ටිලාගේ සිසිලිනා හාමි. ඈ රැකියාවක් කළේ නෑ.
ජිනදාස ඔවුන් ගේ කුලුදුල් දරුවා. ඔහුට බාල නංගිල දෙදෙනයි මල්ලියි. තාත්ත හැඳල රජයේ
රෝහලේ වැඩ කළ නිසා පුංචිම කාලේ ඔවුන් පදිංචි වෙලා හිටියේ හැඳල. හේකිත්තේ. අද වගේ
නොවෙයි. ඒ කාලෙ අධ්‍යාපනය මුදල් ගෙවා ලබා ගත යුතුයි.
ජිනදාස ගෙ තාත්තගේ රස්සාවෙන්
ලැබුණ මුදල සෑහුණේ යංතං එදා වේල පිරිමහගෙන කටයුතු කරන්න විතරයි. ඒත් සිංහල මාධ්‍ය
පාසල්වල අධ්‍යාපනේ නොමිලේ. ඒ නිසා පියා ඔහු ඇතුළත් කළේ හැඳල පල්ලියවත්තේ රෝමානු
කතෝලික පාසලට.
තුන්වැනි පන්තියෙන් පස්සෙ ජිනදාස ආච්චිගේ නිවසේ නැවතිලා පාසල් ගියා.
ඒ රාවතාවත්තේ මෙතෝදිස්ත පාසල. ජිනදාස ඉගෙනගන්න දක්‍ෂයි. ඒ වගේම හරිම උනන්දුයි. ඔහු පාසලේදි පතපොතේ වැඩ මිසක් කී‍්‍රඩා වගේ බාහිර වැඩවලට යොමු වුණේ නෑ. ඒ පාසලේ
ජ්‍යෙෂ්ඨ පාඨමාලා සහතික පත‍්‍ර විභාගය දක්වා ඔහු ඉගෙනුම ලැබුවා.
1941 දි ජ්‍යෙෂ්ඨය
සමත් වෙන කොට ජිනදාසගේ වයස අවුරුදු දාසයයි. එස්.එස්.සී. විභාගෙ හොඳින් සමත් වුණු
ජිනදාසට ඉංගි‍්‍රසි ඉගෙනගන්න ලොකු ආසාවක් ඇතිවුණා. 1941 අපේර්ල් 05 වැනිදා ජපන්
හමුදාවන් කොළඹට බෝම්බ දැම්මා. රටේ මහ කලබලයක්. කොළඹ තිබුණු පාසල් වහලා ගම්බදට රැගෙන
ගියා.
කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය වහලා එහි ශාඛාවක් ලෙස වත්තල ශාන්ති
අන්තෝනි විද්‍යාලය ඇරියා. ජිනදාස මවුපියො ළඟට ගිහින් වත්තල ශාන්ත අන්තෝනි
විද්‍යාලෙට ඇතුළු වුණා. ඒක ඉංගී‍්‍රසි මාධ්‍ය පාසලක්. ජිනදාස ගේ ඉංගී‍්‍රසි දැනුමෙ
හැටියට වැටුණේ හයේ පන්තියට. ඉගෙනුමට ඇති ආසාවත්, උනන්දුවත් නිසාම අවුරුදු දෙක
හමාරෙන් ඔහු හත අට ශ්‍රේණිවල නොසිට ඉහළ පන්තියට සමත් වුණා.
මේ වෙනකොට පියා ඉපැයූ
සුළු වැටුපෙන් පවුලෙ බාල සහෝදර සහෝදරියන්ටත් උගන්නන්න ඕනෑ. තමාට තවත් ඉහළට උගන්වන්න
පියාට අපහසු නිසා ජිනදාස රැකියාවකට යන්න හිතුවා. එස් එස් සී සමත් නිසා ගුරු
වෘත්තියට යන්නට පුළුවන්. ඔහු 1944 දි පේරාදෙණියෙ ගුරු අභ්‍යාස විද්‍යාලෙට තේරුණා.
1946 දි පුහුණුව අවසන්.
1947 ජනවාරි පළවැනිදා මුල් වරට ගුරු පත්වීමක් ලැබුණා.
දෙවුන්දර මෙතෝදිස්ත පාසලට. ඇඳුම් කැඩුම් ටිකක් සූට්කේස් එකක අහුරගෙන පාසල හොයාගෙන
දෙවුන්දරට ගියා.
පාසලේ හිටපු විදුහල්පතිතුමා සී.එම් ප‍්‍රනාන්දු මහත්තය ජිනදාසට
ඔහුගෙ ගෙදරම නවාතැන් දුන්නා. මුලින්ම ලැබුණේ පස්වැනි පන්තිය. හැම විෂයක්ම ඉගැන්නුවේ
පන්ති භාර ගුරුතුමාමයි. ගුරුකම කළාට ජිනදාසගෙ ආසාව ඉහළට ඉගෙන ගන්නමයි. ඔහු කොළඹට මාරුවක් ඉල්ලුවා. ලැබුණෙ
අලුත්ගම මහා විද්‍යාලෙට. ඒ 1948 දි. අලුත්ගමින් කාමරයක් කුලියට අරන් දෙමළ
ගුරුමහත්මයෙක් එක්ක හවුලෙ නවාතැන් ගත්තා. දෙමළ මහත්තයට සිංහල බෑ. ජිනදාසට දෙමළ බෑ.
මුලින් මුලින් දෙන්නා අදහස් හුවමාරු කර ගත්තෙ හස්ථ මුද්‍රාවෙන්.
පස්සේ දෙමළ මහත්තය
ජිනදාසට ඉංගී‍්‍රසි ඉගැන්නුවා. ජිනදාසත් දන්න විදිහට කැඩුණු ඉංගී‍්‍රසියෙන් කතා
කළා. ඉංගී‍්‍රසි පාඩම කොතරම් සාර්ථක වුණාද කියතොත් මාසෙන් දෙකෙන් ජිනදාසට හොඳහැටි
ඉංගී‍්‍රසිය හසුරවා ගන්නට තරම් දැනුමක් ලැබුණා. ජිනදාසල නැවතිලා හිටි කාමරේ හන්දියෙ
පාර අයිනෙ උඩ තට්ටුවක තිබුණෙ.
දවසක් උදේ නැගිටල ජනේල ඇරල බලකොට පාර අයිනෙ බෝක්කුව
උඩ සුදු ඇඳගත් පුද්ගලයෙක් ඉඳගෙන නිවිහැනහිල්ලේ දුම්වැටියක් උරනවා. ඔහු ඇහුව ළඟ හිටපු කෙනාගෙන් ඒ කවුද කියල. බැලින්නම් ඒ බිබිල මන්ති‍්‍ර දහනායක
මහත්තයා. පසු කලෙක රටේ අගමැති. දහනායක මහත්තය ආපු කෝච්චිය මඟ හිටල බස් එකක් එනකල්
තමයි ඔහු එහෙම බලා හිටියෙ. අද කාලෙ නම් මන්තී‍්‍රවරයකුට ආරක්‍ෂක භටයොම කී දෙනෙක්
වටේ ඉඳීද? ජිනදාස මහත්තය අහන්නෙ සිනාසෙමින්. 1949 දි පත්තරේ දැන්වීමක් පළවුණා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රත්නසූරිය මහත්මයා
විසින් සිංහල ඩිප්ලෝමා පාඨමාලාවක් පවත්වන බවට. ජිනදාස ඊට අයැදුම් කළා. පාඨමාලාවට
තේරුණා.
අලුත්ගම ඉඳන් එන්න බැරි නිසා කොළඹ කේරි විද්‍යාලෙට මාරුවක් ලබා ගත්තා. 1950
දි ඩිප්ලෝමා විභාගෙ සමත් වුණා. පේරාදෙණියෙ ගුරු අභ්‍යාස විද්‍යාලෙ බාලාංශ ක‍්‍රම
උගන්නපු කථිකාචාර්යවරයා නිවාඩු කාලෙදි කොළඹ ඒ පිළිබඳ පන්ති පැවැත්තුවා. ඒ පන්තිවලට
රටේ සෑම පළාතෙන්ම ගුරුවර ගුරුවරියො සහභාගි වුණා. ජිනදාසලත් ගියා ගුරුතුමාට සහය
වෙන්න. එහෙම ගිය පන්තියකදි ඔහුට තම ජීවන සහකාරියත් මුණ ගැහුණා. ඇය මොරටුවේ සීලවතී
අත්තනායක. මතුගම වලල්ලාවිට විද්‍යාලයේ සේවය කළා. පන්තියේදි දැන හැඳිනගත් ඔවුන් 1951
පෙබරවාරි 22 දා අතිනත ගත්තා.
1952 දි ඔවුන්ගේ කළුදුල් දියණිය ජානකී උපන්නා. 1953 දි
ඔවුන්ගේ කැදැල්,ට තවත් නිවුන් දියණියන් දෙදෙනෙකුම එක්වුණා. ඒ සිරිමා කුමුදුනී සහ
තමරා චන්ද්‍රානි. උපාධිධාරී ගුරුවරියන් ලෙස සේවය කළ ඔවුන් දෙදෙනාම අද
විශ‍්‍රාමිකයි. 1955 දී උපන් නිමල් පුතා අද ඇමෙරිකාවේ පදිංචිව සිටිනවා. 1962 දී
උපන් බාල දියණිය තුසිතා දැන් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටිනවා. ජිනදාසට හැමදාම ඉගෙනගන්න ලොකු ආසාවක් තිබුණා. පාසලේ උගන්වන ගමන් තමන්ගෙ දැනුමත්
අධ්‍යාපන සුදුසුකමත් වැඩිකර ගන්න ඔහු හැම විටම උත්සාහ කළා. මහනුවර ති‍්‍රත්ව
විද්‍යාලෙට සිංහල උගන්වන්න ගුරුවරයෙක් ඉල්ලල පත්තරේ දැන්වීමක් දාලා තිබුණ.
ජිනදාසත්
ඊට ඉල්ලුම් පත‍්‍රයක් යැව්වා. ඒ කාලෙ ති‍්‍රත්ව විද්‍යාලෙ විදුහල්පති බි‍්‍රතාන්‍ය
ජාතික නෝමන් වෝල්ටර්. ජිනදාසට සම්මුඛ පරීක්‍ෂණයට කැඳවීමක් ලැබුණා. කොළඹ ගාලුමුවදොර
හෝටලයට පැමිණ විදුහල්පති හමුවෙන ලෙස. නියමිත වෙලාවට ඔහු ගියා. ප‍්‍රශ්න දෙකයි ඇහුවේ. කවදා ඉඳන්ද වැඩබාර ගන්න පුළුවන් කියල ඇහුවා. ඔහු කේරි
විද්‍යාලෙට දැන්වූවා. ති‍්‍රත්ව විද්‍යාලෙට පත්ව ගියා. ඒ 1951 මුල. ඒ වන විට
ති‍්‍රත්ව විද්‍යාලෙ සිංහල භාෂාවට කිසිම තැනක් නෑ. ඉංගී‍්‍රසි ඉගෙන ගත්ත කළු සුද්දො
වගේ තරුණ සිංහල ළමයි. සිංහල භාෂාව බොහොම පහත් විදිහට සැලකුවේ.
තමන් ගෙ රට ජාතිය
අමතක කරල පරගැති ජාතියක් බවට පත්වන්නට වළිකන තරුණයන් හට නෝමන් වෝල්ටර්
විදුහල්පතිතුමා අනුකම්පා කරන්නට ඇති. ඔවුන්ගේම ජාතික සංස්කෘතික සිරිත් විරිත් මවු
භාෂාව යළිත් වරක් විද්‍යාලය තුළ තහවුරු කිරීමයි ඔහුගේ අදහස වුණේ.
ජිනදාස ගුරුතුමා
සිංහල උගන්නන්න මුලින්ම ති‍්‍රත්ව විද්‍යාලෙට ගියාම ළමයි ඔහු සත පහකට ගණන් ගත්තෙ
නෑ. මුලින්ම එස්.එස්.සී. පන්තියට ගියා. එක ළමයෙක්වත් නැගිට්ටේ නෑ. පන්තියෙන් බාගයක්
වත් ඔළුව ඉස්සුවේ වත් නෑ. වෙන වැඩ. රැල් බුරුල් ඇරලා ජිනදාස ගුරුතුමා කතා කළා. ළමයි කනකට ගත්තෙ නෑ. ඔහු ළමයින්ගේ දැනුම
බලන්ඩ පුංචි රචනාවක් ලියන්න කිව්වා. ළමයි ගණන් ගත්නෙ නෑ. දෙතුන් සැරයක් කිව්වා. ටික
දෙනෙක් වැඩ පටන් ගත්තා.
ජිනදාස මහත්තයගෙ ඉවසීමේ සීමාව පැන්නා. දුන්නා හොඳ පාරක්
එකෙකුට. පංතියම ගල් ගැහුණා. එක්වරම වැඩ පටන් ගත්තා. එදා පටන් අවසානය දක්වාම ජිනදාස
ගුරුතුමාට කවුරුත් ගරු කළා. ඔහු උද්ධච්ඡ ශිෂ්‍යයන්ගේ මානය බින්දා. ඔවුන් තුළ සැබෑවට ජාත්‍යාලය ඇති කළා. සිංහල
සාහිත්‍ය සංගමය ඇරැඹුවා. වාද විවාද, නාට්‍ය, ගායනා තරග සංවිධානය කළා. ළමයි
උනන්දුවෙන් ඒවාට සහභාගී වුණා.
ඔවුගෙන් සිංහල උගත් ගෝලයන් අතර අද ලංකාවේ කීර්තිමත්
පුද්ගලයන් රැසක් සිටිනවා. මහාචාර්ය විමල් දිසානායක, ඇමති ආචාර්ය සරත් අමුණුගම,
හිටපු ඇමැති අනුරුද්ධ රත්වත්ත, හිටපු සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව, ආචාර්ය ජයන්ත
ධනපාල, හිටපු පාර්ලිමේන්තු ලේකම් බර්ට‍්‍රම් තිත්තවැල්ල ඒ අතරින් ඔහුගේ මතකයට නැගෙන
කිහිප දෙනෙක්. 1951 සිට 1960 දක්වා ඔහු ති‍්‍රත්ව විද්‍යාලයේ සේවය කළා. නවසිය හැටේ දි රටේ දේශපාලන
වාතාවරණය වෙනස් වුණා. පුද්ගලික පාසල් රජයට ගත්තා. 1954 දි ජිනදාස ලන්ඩන්
විශ්වවිද්‍යාලෙන් ඉන්ටර් ආට්ස් උපාධිය සමත් වෙලා හිටියේ. 1957 දි ලන්ඩන්
විශ්වවිද්‍යාලෙන්ම බී.ඒ. උපාධියත් ලබා ගත්තේ ද්විතිය පන්ති ඉහළ සාමාර්ථයක් සමඟ. 1960 දි අධ්‍යාපන දෙපාර්තමේන්තුව රජයේ විද්‍යාලවල විදුහල්පතිවරුන් සඳහා අයැදුම්පත්
කැඳෙව්වා. ජිනදාසත් ඉල්ලුම්පත‍්‍රයක් දැම්මා. ඔහුට මුල්ම විදුහල්පති පත්වීම ලැබුණේ
වව්නියාවේ සිංහල මහා විද්‍යාලෙට.
දරු පවුල නුවර නවත්තල වව්නියාවට ගියා. ඒ කාලෙ අද
වගේ නොවෙයි. සිංහල දෙමළ භේදයක් නෑ. ජනතාව බොහෝම සමගියෙන් ජීවත් වුණා. වවුනියාවට ඔහු
ගියේ තනිවම ඔහුගේ මොරිස් මයිනර් රථය පදවාගෙන.
පාසලේ ළමයි 800 ක් පමණ හිටියා. හොඳ
ගුරු නිවාසයක් තිබුණා. විදුහල්පති තනතුරේ හුරුවක් නැතත් උප විදුහල්පති ගෙ සහයෙන්
ඉක්මණින් වැඩ අල්ලා ගත්තා. 1966 දෙසැම්බර් නිවාඩුවට ගෙදර ආවම අනපේක්‍ෂිත විදිහට
ඔහුට නිට්ටඹුවේ සංඝබෝධි විද්‍යාලෙට ස්ථාන මාරුවක් ලැබුණා. නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලෙ හොරගොල්ල වලව්වට යාබද ඉඩමක පිහිටා තිබුණා. ඒ බණ්ඩාරනායක
පව්ලෙන් රටට දායාද කළ පාසල. ගොඩනැඟිලි දෙකකින් යුතු පාසලේ අධ්‍යාපන මට්ටම අන්තිමට
බැහැලා. මේ පාසල සංවර්ධනය කළ හැකි කෙනෙක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සොයමින්
වැඩේට පත්කළේ ජිනදාස. ඔහු වැඩ බාර ගත්තා. ලේසි නෑ වගකීම. මාසයක් ඇතුළත ගුරු දෙගුරු සමිතියක් කැඳෙව්වා. නිට්ටඹුව ගුරු අභ්‍යාස විද්‍යාලයේ
හිටපු විදුහල්පති අලගියවන්න රාළහාමි, මල්පෝරුවෙ වෙද මහත්තයා, ඩී.එෆ්. අතුකෝරාළ වගේ
මහත්වරු ගුරු දෙගුරු සමිතියේ හිටිය.
ඔවුන් මැතිනිගේ ළඟ හිතවතුන්. ඔවුන් සමඟ එකතු
වෙලා සෙනසුරාදා උදේම මැතිනිය හම්බවෙන්න ගියා. අලුත් විදුහල්පතිතුමා ඈට හඳුන්වා
දුන්නා. මගේ ඉස්කෝලෙ හොඳට දියුණු කරන්න ඕනෑ” ඈ කිව්වේ එපමණයි. විදුහල්පතිතුමා ආපසු ආවා. වැඩ කරල පෙන්නන්න හිතුවා. මවුපියො කැඳෙව්වා. කී‍්‍රඩා
උත්සවයක් සංවිධානය කළා. පාසලට කී‍්‍රඩා පිටියක් නෑ. මිදුල මැද මහ මඩ වළක් තිබුණා.
මේ වළ වටේට ධාවන පථයක් හැදුවා. ළමයි පුහුණු කළා. කවදාවත් එහෙම අවස්ථාවක් නොලැබුණු
ළමයි බොහොම උනන්දුවෙන් පුරුදු පුහුණු වුණා. උත්සවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස මැතිනියට
ආරාධනා කළා. ළමයි මඩ වළේ වැටි වැටී තරගෙට දිව්වා. අමුත්තන් පී‍්‍රති ඝෝෂා කළා. විදුහල්පතිතුමා ගේ කතාවෙදි ඔහු කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කළේ නෑ. සතියක් දෙකක්
ගියා. තනිවම ගිහින් මැතිනිය හමු වුණා. “ඔබේ පාසලේ ළමයින්ගෙ දස්කම් දුටුවා නේද? පාසල
දියුණු කරන්න නම් ඔතැන හැර වෙන තැනක් දෙන්න” ඍජුවම ඉල්ලීම ඉදිරිපත් කළා.
මැතිනිය
කල්පනා කළා. හොඳයි සුදුසු තැනක් බලල මට කියන්න” ඈ කීවා. විදුහල්පතිතුමා තනිවම ගම පුරා ඇවිද්දා. සුදුසු යැයි හැඟුණු තැනක් බලාගෙන යළිත්
මැතිනි හමු වුණා. ඈ සමග ගිහින් ස්ථානය පෙන්නුවා. හොඳින් වටපිට බැලූ ඈ “හොඳයි
මෙතැනින් අක්කර හතරක් ලබා දීල අමාත්‍යාංශයට දන්වන්න” ඇගේ ලේකම්වරයාට කීවා. වර්තමාන
නිට්ටඹුව සංඝබෝධි මහා විද්‍යාලෙට මුල් අඩිතාලම වැටුණේ එහෙමයි. වසරක් ගතවෙන්නටත් පෙර නිලධාරීන් විශේෂයෙන් උනන්දු වෙලා දෙමහල් ගොඩනැගිලි දෙකක් සහ
විද්‍යාගාරයක් සහිත ගොඩනැගිලි තුනක්ම විදුහලට ඉදිකර දුන්නා. පාසලේ අධ්‍යාපන මට්ටම
නංවන්න හොඳ ගුරුවරු ලබා ගත්තා.
ගුරුවරුන් ළමයිනුත් උනන්දු කරගෙන ඉක්මනින්ම හොඳ
ප‍්‍රතිඵල පෙන්නුවා. 1965 ඡන්දෙන් ශි‍්‍ර.ල.නි.ප පැරැදුණා. එක්සත් ජාතික පක්‍ෂයට ජය ලැබුණා. අධ්‍යාපන ඇමැති ලෙස ඊරියගොල්ල මහතා පත් වුණා.
පක්‍ෂ දේශපාලනේ මුල්කරගෙන ගුරුවරු මාරු කළා. මැතිනිගෙ පාසලේ වැඩ කළ නිසා ජිනදාස
මහත්තයටත් මාරුවීමක් ලැබෙයි කියල ඔහු සිතුවා. ඒත් වසරක් ගත වුණා. වෙනසක් නෑ. ඔහු
නැවත මැතිනි හමුවුණා. පාසල දියුණු කරන්න ඔහුට බලයේ සිටින පක්‍ෂයේ සහය පැතීමට සිදුවන
බව කීවා. මැතිනි කිසිම විරෝධයක් පළකළේ නෑ. ඒකමතිකව එය අනුමත කළා. නැවත වරක් පාසලේ තෑගි උලෙළක්. ප‍්‍රධාන ආරාධිතයා ලෙස අධ්‍යාපන ඇමැතිට ආරාධනා කරන්න
ගියාම ඔහු එකවරම ඇහුවෙ මැතිනිට ආරාධනා කළාද කියලයි. අද කාලෙ වගේ නොවෙයි.
එදා
දේශපාලනඥයො වැඩ කළේ බොහෝම වැදගත් විදිහට. උත්සවේ ජයට කෙරුණා. ඊරියගොල්ල මහත්මයා එදා
බොහොම ආන්දෝලනයට තුඩු දුන් ප‍්‍රකාශයක් කළා. ”මේ රට ඉදිරියට ගෙනියන්න නම් මැතිනියයි, ඩඩ්ලි සේනානායක මහත්තයයි එකතු වෙන්න ඕනෑ”
යැයි කිව්ව. ඒ වන විට බණ්ඩාරනායක මහත්මය මිය ගිහින්. ඩඩ්ලි මහත්තය අවිවාහකයි. පසුදා
පුවත්පත්වල මේ ප‍්‍රකාශය ප‍්‍රධාන සිරස්තල බවට පත් වුණා. පාසලේ තෑගි උත්සවය ගැන ඇමතිතුමා කොතරම් පැහැදුණ ද කියතොත් “මම මේ පාසලට අංක එකේ
විද්‍යාගරයක් ලබා දෙනවා” කියල ප‍්‍රසිද්ධියෙ ප‍්‍රකාශ කළා. විදුහල්පතිතුමා අවශ්‍ය
කටයුතු සඳහා අමාත්‍යාංශෙට ගියාම ගොඩනැඟිලි ඉන්ජිනේරුවා අංක දෙකේ විද්‍යාගාරයක්
අනුමත කරලා. ඇමතිතුමාට දැන්වූ වහාම යළිත් අංක එකේ විද්‍යාගාරයක් සංඝබෝධියට අනුමත වුණා. මාසයක්
දෙකක් ඇතුළත විද්‍යාගාරෙ හදල ඇමතිතුමා ලවාම විවෘත කෙරෙව්වා. මේ වනවිට සංඝබෝධිය හැම අතින්ම දියුණුයි. විදුහල්පතිතුමා ගෙදර ගියෙ කලාතුරකින්.
පාසලේම රැඳෙමින් කටයුතු සොයා බැලුවා. ළමා ළපටි නුවර. රටේ ළමයින්ට ඉගැන්නුවට ගෙදර
ළමයින්ගේ යහපත බලන්නේ නෑ කියල පුංචි චෝදනාවක් ගෙදරින්. කාරණේ ඇත්තනේ. ජිනදාස
විදුහල්පතිතුමා කොළඹට මාරුවක් ඉල්ලුවා. 1970 දි මරදානේ සරණංකර මධ්‍ය මහා විද්‍යාලෙට මාරුවක් ලැබුණා. 71 ජනවාරි මාසෙ වැඩ
බාර ගත්ත. හැත්තෑ එකේ කැරැල්ල ඇරැඹුණා. මරදාන සරණංකරය ඉඩපාඩු ගොඩනැඟිලි සහිත
පාසලක්. පාසලේ වැඩකට නොගත් ශාලා විද්‍යාගාර වසා දමා තිබුණා. මෙහි කොටසක තරුණ
ගුරුවරුන් කිහිපදෙනෙක් නවාතැන් ගෙන සිටියා. විදුහල්පතිතුමා වැඩ බාර ගත්තා පමණයි
ඇතුළත ඔහු නොදැන බොහෝ දේ සිදුවෙමින් තිබුණා. 1971 අපේර්ල් 05 මහ රෑ 10 – 11 ට
රටේ ඇඳිරි නීතිය පැනෙව්වා. කැරලිකරුවන් අත්අඩංගුවට ගත්තා.
අගමැතිනිය අත්අඩංගුවට
ගන්න කුමන්ත‍්‍රණය කළ පිරිස සැඟව සිටියේ මරදානේ සරණංකර මධ්‍ය මහා විද්‍යාලයේ බව
පසුදා ගුවන්විදුලි ප‍්‍රවෘත්තිවලට ප‍්‍රචාරය වුණා. විදුහල්පතිතුමා ගල් ගැහුණා. ඔහු
අත්අඩංගුවට පත් නොවුණේ කිසියම් ආශ්ච¸යකින් වගෙයි. එහෙත් විවිධාකාර ප‍්‍රශ්න කිරීම් සඳහා ඔහුට වරින්වර පොලිසියට යන්න සිදු වුණා. පාසලේ
ගොඩනැගිලි කඩා බිඳ දාලා ඒවා පිළිසකර කරන්න සිදු වුණෙත් ඔහුට. ඔහුට ඒ විදුහල එපා
වුණා. මාරුවක් ඉල්ලුවා. එවර කෝට්ටේ ශි‍්‍ර ජයවර්ධනපුර මහා විද්‍යාලෙට මාරුවක්
ලැබුණා. ඒ පාසලේ සේවය කළේ බොහෝම කෙටි කාලයක්. ඔහුට විදුහල්පතිකම එපා වුණා. එවකට
අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පේර්මදාස උඩගම. උඩගම මහත්තයට කියා ඔහු අධ්‍යාපන
අමාත්‍යාංශයට බැඳුණා.
ඒ වවුනියාව ප‍්‍රධාන අධ්‍යාපන නිලධාරීවරයා හැටියට. 1974 දි
වවුනියාවට ගිය ජිනදාස මහත්තය අවුරුදු 1 1/2ක් වවුනියාවේ සේවය කළා. 1976 දී ප‍්‍රධාන අධ්‍යාපන නිලධාරී ලෙස යළිත් කොළඹට මාරුවක්. 1977 ආණ්ඩුව පෙරළුණා.
මැතිනිගේ මිනිහෙක් කියල ජිනදාස හලාවතට මාරු කළා. උදේ වැඩ බාර ගත්තා. දහය වෙනකොට වැඩ
තහනම් කරල ටෙලිග‍්‍රෑම් එකක් ආව.
හේතුවක් නෑ. කාටවත් නොකියා ගෙදර ගියා. ගෙදරට වෙලා
ඉදීමත් ඵලක් නෑ. අමාත්‍යාංශෙට ගිහින් වැඩ තහනමට හේතුව ඇහුව. යළිත් හලාවත ප‍්‍රධාන අධ්‍යාපන නිලධාරියා ලෙස පත්වීම ලැබුණ. ඔහු එය ප‍්‍රතික්‍ෂෙප
කළා. කලකිරීමෙන් පසු වූ ඔහු පසුව කළුතර අධ්‍යාපන පරිපාලන පුහුණු ආයනයේ
කථිකාචාර්යවරයකු ලෙස සේවයේ යෙදුණා. 1 981 දි ඔහු රජයේ සේවයෙන් විශ‍්‍රාම ගත්තේ
බිරියටවත් නොකියා. රැකියාවක් නොකර ගෙදර ඉඳීමත් ලේසි වැඩක් නොවෙයි. ඒ නිසාම ඔහු
ඇට්ලස් හෝල් සමාගමේ කළමනාකාරවරයා ලෙස සේවයට එක් වුණා.
1983 ජූලි කලබලයෙදි ඔහු ඉතාම
අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙමින්ම ගෙදර ආවේ ජාතිවාදයේ උණුසුම් ගිනිදැල් මැදින් ඒ
රස්සාවටත් ආයුබෝවන් කියලා. දිනකර පත්තරේ කර්තෘ මණ්ඩලේට ඔහු එක් වුණේ චන්ද්‍රිකා මැතිනිගෙයි විජයගෙයි දැන
හැඳුනුම්කම නිසා. ලේඛන කලාවට කවදත් ඇල්මක් දැක්වූ නිසාම දිනකර පත්තරේ කර්තෘ මණ්ඩලයට
එක් වුණා.
එය වැහෙනතුරුම පත්තරේ වැඩ කළ ජිනදාස ගෙදර නැවතුණේ ඒ වන විට ඔත්පොළව සිටි
බිරිය රැක බලා ගන්න. 1996 දී ඈ මෙළොවින් සමුගන්නාතුරුම ඈට ගිලාණෝපස්ථාන කළා. 1991 සිට ඔහු ශි‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ සමථ මණ්ඩලයේ කි‍්‍රයාකාරි සාමාජිකයෙක්. ඒ
අත්දැකීම් ඇසුරින් 2001 දි ඔහු “සමථ මණ්ඩල කළමනාකරණය” නම් කෘතිය ලිව්වා.
2001 දි
එක්සත් ජාතීන්ගේ සංවිධානය, පීටර් කෙනමන් චරිතාපදානය, කන්නන්ගර චින්තනය සහ නිදහස්
අධ්‍යාපන පුරාණය වැනි කෘති ලියා ප‍්‍රකාශයට පත් කළ ඔහු අද වඩාත් නැඹුරුව සිටින්නේ්
පරිවර්න කාර්යයටයි. මේ වසරේ සාහිත්‍ය මාසයේදී ඔහු පරිවර්තනය කළ නවතම කෘතිය ශ්‍යාම් සෙල්වදොරේ ගේ “මෝසම්
මුහුදේ පිහිනීම” දොරට වැඩියා. ආර්.කේ. නාරායන් ගේ කතාවක් සිංහලට පරිවර්තනය කොට
මුද්‍රණයේ පවතිනවා.
සෝදාපාළුවට ලක්වෙමින් පවත්නා සිංහල විචාර කලාව පිළිබඳ
ශාස්තී‍්‍රය ග‍්‍රන්ථයක් ඉදිරිපත් කිරීමට ජිනදාස වන්නිආරච්චි හිටපු විදුහල්පතිවරයා
මේ දිනවල සිය කාලයත් ශ‍්‍රමයත් කැපකරමින් සිටිනවා. සාගරිකා දිසානායක ජයසිංහ
ඡායාරූපය – විමල් කරුණාතිලක
|