තුන් අවුරුද්දක “වෙනස”

අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 42 කින් සම්මතයි

පුනරින් අල්ලයි!

යුද්ධය ගැන කතා එපා
ජොනී රනිල්ට කියයි

විදේශ සබඳතා හොඳින්ම කළමනාකරණය කළ රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂයි

පාරිසරික ගොවිතැනේ වැදගත්ම අංගය වසුන් යෙදීමයි

වනපෙතේ සරනා බිංදුලාගේ කතාවක්

දළ පහර දුටු පමණින් විස ශරීරගත වූවා යැයි බය වෙන්න එපා

අපි දෙදෙනාම ඇමෙරිකානුවන්! ඔබාමා සහ මැකේන් කියති

කවරයේ කතාව

ටෙලිකොම් මොබිටෙල් හඳුන්වාදෙන SMARTපැයේ නිදහස

උදේ අටට වැඩ බාරගත්තා දහයට වැඩ තහනම් ලියුම ආවා

තුන් අවුරුද්ද

ටිකිරි හමුව

මධු කුසලාන

සංග‍්‍රාම දෙකකට මැදි වූ මිනිසෙක්

සොරකු නම් ඔහු සොරකු කළ මැන

සොරකු නම් ඔහු සොරකු කළ මැන

ලුයම අවදි වූ මම මිදුලේ සක්මන් කරමින් සිටියෙමි.

පාර දෙසින් කෑගැසිල්ලක් ඇසිණ. මම පාරට ගියෙමි.

පාපැදිකරුවෙක් වේගවත් ගමනින් එමින් සිටියේ ය. ඊට එහායින් උදෑසන වැඩට යමින් සිටි තරුණියක් කෑගාමින් සිටියා ය.

’කැඩුවා! කැඩුවා!’

’මොකක්ද කෑගැහිල්ල?’ මම පාපැදිකරු ගෙන් ඇසීමි.

’අක්කගෙ මාලෙ කඩං ගියාලු!’ ඔහු එසේ කියාගෙන ම මා පසු කර යන්නට වූයේ ය.

මම කිහිප වරක් දෙපසට හැරෙමින් කෑගාන තරුණිය දෙසත්, වේගයෙන් පැද යන පාපැදිකරුවා දෙසත් බැලීමි. ‘මේ යන්නෙ “හොරා” තමයි’ මගේ හිත මට කී ය. එසැණින් ම මම ඔහු අඹා යන්නට වීමි.

’අල්ලපියෝ! ඔන්න හොරෙක්! අල්ලපියෝ!’

මගේ කෑගෑම ඇසී තරුණයෙක් පාරට ආවේ ය. ‘හොරා’ අල්ලන්නට මම ඔහු ගේ උදවු පැතීමි. ඔහු ටික දුරක් මා සමඟ දිවැ’විත් ඒ වේගයෙන් ම ආපසු දිව්වේ ය.

මම තනි ව ම ‘හොරා’ අඹා යන්නට වීමි. ‘හොරා’ ද හැරි හැරී පසු පස බලමින් ගමන වේගවත් කරන්නට වූයේ ය.

ටිකකින් අර තරුණයා යළි පාපැදියකින් දිව ආවේ ය. ඒ දුටු ‘හොරා’ තව තවත් වේගවත් විය. එවිට අපිදු වේගය වැඩි කළෙමු. ඊට සාපේක්ෂ ව ‘හොරා’ ද වේගය වැඩි කළේ ය.

මම මුළු වැර යොදා දුවන්නට වීමි. තරුණයා ද හති දමමින් පාපැදිය පදවන්නට වූයේ ය.

’හොරා’ බිය වූ බව පෙනිණ. හේ අසුනින් නැගිට, හිටගෙන පාපැදිය පදවන්නට වූයේ ය. එහෙත් අපේ වෙලාව හොඳ විය. ‘හොරා’ ගේ පාපැදියේ දම්වැල පැන්නේ ය. අප හිතුවේ ‘හොරා’ නවතිනු ඇති බව ය. එහෙත් ඒ සිතුවිල්ල වැරදි ය. හේ පාපැදිය තල්ලු කරගෙන හැකි වේගයෙන් දුවන්නට වූයේ ය. අපි ඔහු ලෙහෙසියෙන් ම අල්ලා ගතිමු.

හති දමමින් සිටි ‘හොරා’ අල්ලා ගෙන ඔහු සේ ම මොහොතක් හති ඇරි අපි දෙවනු ව ඔහු ඇදගෙන තරුණිය වෙත ගෙන ගියෙමු. ඒ වනවිට සැලකිය යුතු පිරිසක් පාරේ රැස් ව සිටියහ.

ඇතමුන් අත ගල් මුල් ද විය. ඔවුහු ‘හොරා’ට පහර දෙන්නට තැත් කළහ. අපි ඒ වලක්වා ඔහු තරුණියට බාර කළෙමු.

හොරා පිරිස ඇමතී ය. ‘ඔයගොල්ලො මට ගහන්ඩ එපා! මාලෙ අයිති මේ අක්කටනේ. ඔය යකඩ පොල්ල දෙන්ඩ අක්කට. අක්ක දැං මට කැමැති දෙයක් කරන්ඩ!’

එකෙණෙහි ම යකඩ පොල්ල ගත් තරුණිය හැකි වෙර යොදා ‘හොරා’ ගේ මුහුණට ගැසුවා ය. මුහුණ පුපුරා ලේ ගලා ගියේ ය.

අනතුරු ව ඔහු පොලිසියට බාර කැරිණි.

මෙතැන් සිට මා කියන්නේ ආරංචි වූ දේ ය.

පොලිස් නිලධාරීන් ඉදිරියේ ‘හොරා’ පාපෝච්චාරණයක් කළේ ය.

’මම හොරෙක් නෙමේ. කුලී වැඩ කරල දරු පවුලක් ජීවත් කරවපු කෙනෙක්. අපේ පැත්තෙ කුලී වැඩ නැත්තට නැතුව ගියා. දරුව කිරි නැතුව අඬනව බල බල ඉන්ඩ බෑ.

බස්වල යන්ඩ සල්ලි නැති හින්ද මං බයිසිකල් කබලෙන් ම මහ දුරක් ගෙවාගෙන වෙළඳ කලාපෙට ආවෙ රස්සාවක් ලැබෙයි ම කියල හිතල. දවස් දෙකක් ම පැක්ටරි ගාණේ ගියාට රස්සාවක් හම්බ වුණේ නෑ.

දෙවෙනි දවසෙ හැන්දෑවෙ මං බලාපොරොත්තු අතෑරල ආපහු හැරුණ. මහන්සියටයි, බඩගින්නටයි, ඇඟ වෙවුලන්ඩ ගත්ත හින්ද බස් ස්ටෑන්ඩ් එකේ දිගෑදිල හිටිය. දෙනෝ දාහක් මිනිස්සු හිටියට අත පාන්ඩ ලැජ්ජයි. බයිසිකලේ පැදගන්ඩ පණත් නෑ.

හිස් අතින් ගෙදර යන්ඩත් බෑ. රෑ එහෙම්ම බස් ස්ටෑන්ඩ් එකේ බුදිය ගත්ත. පාන්දර ම නැගිටල ආපහු එනකොට තමයි ඔය අක්කව දැක්කෙ. අක්කගෙ මාලෙ කඩන්ඩ මට හිතුණෙ නෑ. ඒත් මං ඒක කඩල! එතකොට ම ඒක කැඩිල බිම වැටිල! මං හොරෙක් නෙමේ. මට මොනව වුණාද කියල මං ම දන්නෙ නෑ සර්!’

’තමුසෙ ඔය ඇත්තද කියන්නෙ?’

’අම්මප සර්, මගෙ පවුලයි, දරුවයි පල්ල සර්’

’දැං අපි තමුං එක්ක තමුංගෙ ගෙදර යනව. තමුං බොරු කියල තිබුණොත් දන්නවනෙ තමුංට වෙන වැඩේ!’

’මං කිව්ව සේරම ඇත්ත සර්’

පැය කිහිපයකට පසු පොලිස් නිලධාරීන් සිටියේ ‘හොරා’ ගේ පැල්පත ඉදිරියේ ය. ඔහු ගේ බිරිය හඬන දරුවකු ද කිහිලි ගන්නා ගෙන මඟ බලමින් සිටියා ය.

පොලිස් නිලධාරීහු ඇගෙන් ඔහු ගැන ඇසූහ.

’මෙයා මගෙ මහත්තය මේ දරුවගෙ තාත්ත. රස්සාවක් හොයාගෙනයි ගියේ’ කී ඇය ඔහු වෙත හැරුණා ය. ‘මොකද මේ ඔයාගෙ මූණ පොඩිවෙල? රස්සාවක් හම්බ වුණේ නැද්ද?’

’හොරා’ බිම බලාගත්තේය.

පොලිස් නිලධාරීහු උනු’න් මුහුණ බැලූහ. යථාර්ථය මේ සා කටුක ද? ඔවුන් මනුෂ්‍යත්වයට නිගා නොවන තීන්දුවක් ගත් සේ ය.

’තමුන්ට නවතින්ඩ පුළුවන්’ නිලධාරීහු ආපසු හැරුණාහ.

අනන්‍යතාව හෙළිකිරීමට අකැමැති ‘සිළුමිණ’ පාඨකයකු විසින් හෙළිකරන ලද කතාවක් ඇසුරිනි.


කිසාගෝතමියක ගේ පැතුම

පුතු තදබල සෙම් රෝගයකින් පීඩා විඳිමින් සිටියේ ය. වයස පහේ දී පමණ වැළඳුණු මේ රෝගය කරන ලද සියලු බටහිර වෛද්‍ය ප‍්‍රතිකාර ගණන් නොගනිමින් වසර අටක් තිස්සේ දුක ම උරුම කර දුන්නේ ය. වයස අවුරුදු දහතුන වන විට ම’පුතු ඇදුම රෝගයෙන් පෙළෙමින් සිටියේ ය.

මා කළේ කිසා ගෝතමියක මෙන් දරුවා කරපින්නා ගෙන වෛද්‍යවරුන් සොය සොයා යෑම ය.

අනේ මගේ දරුවා සනීප කර දෙන්නැ’යි ආයාචනා කිරීම ය.

වෛද්‍යවරු ප‍්‍රතිකාර කළහ. එහෙත් රෝගය යළි යළි ඇවිස්සී ආයේ ය. රෝගය පාලනය කරනු මිස නිට්ටාවට සුවපත් කළ නොහැකි බව පැවසිණ.

දරුවා ගේ ඇස් කැසීම ද, සොටු දියර ගැලීම ද නතර කළ නොහැකි විය. සතියකට කිහිප දිනක් රාති‍්‍රයේ රෝගය උත්සන්න වෙයි. ඉන් පවුලේ සාමාජිකයන්ගේ දෛනික කටයුතු අඩාල වෙයි. ඒ මදිවාට දරුවා ගේ කෙණ්ඩා පෙදෙස්හි අධික කැසීමක් හට ගැනී දියර වැගිරෙන්නට ද වූයේ ය. මින් දරුවා වින්දේ ද මහත් වේදනාවකි. එය ප‍්‍රතිකාරයන්හි අතුරු ප‍්‍රතිඵලයක් බව පැවසිණි.

අට වසරක් තිස්සේ ලද මෙ’දුකින් අප සියල්ලන් ගේ්ම සිත් ලෙඩ විය. අපි දෙවියන් ගේ පිහිට යදින්නට වීමු.

සතියකට දින කිහිපයක් දරුවා පාසල් නොගියේ ය. එබඳු ම දින කිහිපයක් අපට ද රැකියාවට යා නොහැකි විය.

’මං ඔයාට හොඳ තැනක් කියන්නං. ඔයා එතෙන්ට යන්ඩ. දරුව සනීප වේවි’ යෙහෙළියක කීවේ මේ අතර ය.

සුපුරුදු පරිදි දරුවා කරපින්නා ගත් මම සැමියා ද කැටුව මේ අලුත් තැන සොයා ගියෙමි.

අපි එහි පය ගැසුවෙමු. ඉතා චාම් තැනකි.

මුලින් ම හමුවූයේ යුවතියන් දෙදෙනෙකි. මම ඔවුනට දුක කීමි.

’අම්මෙ, දරුව සනීප කරන්නම්! ඕකත් ලෙඩක් ද? අම්ම ගිහින් ඉඳගන්ඩකො. වෙලාව ආවාම කතා කරන්නම්. ඔවුන් මසිත සුවපත් කළ සේ ය.

මා තුළ නව බලාපොරොත්තු දැල්විණි. ඔවුනට කීකරු ව වාරය පැමිණෙන තුරු සෙස්සන් අතර හිඳ ගතිමි.

අවසානයේ අපේ වාරය ආයේ ය. අපි දරුවා රැගෙන වෙද මහතා ඉදිරියට ගියෙමු.

වෙද මහතා කාරුණික ය. දරුවා පිරික්සූ ඔහු අප ඇමතී ය.

’දරුව සනීප කරන්නම් හැබැයි සතියකට වරක් දරුව පෙන්නන්න ඕනැ’

’හොඳමයි වෙද මහත්තය’

බෙහෙත් නියම කැරිණි.

අපි සතියෙන් සතිය එහි යෑම පුරුද්දක් කර ගතිමු.

’බයවෙන්ඩ එපා! දරුව ටිකින් ටික සනීප වෙනව. ඉක්මනින්ම සනීප වෙයි.’ යුවතියෝ අපේ හිත් සවිමත් කළහ.

මේ යුවතියන්ට ඉස්පාසුවක් නැත. වෙදමහතා හමුවීමට එන සෑම රෝගියකු ම මුලින් හමුවිය යුත්තේ ඔවුන් ය. ඔවුන් ගේ සේවාව වන්නේ රෝගියා ද ඥාතීන් ද මානසික ව සුවපත් කිරීම ය. ‘අම්මෙ, අක්කෙ, මාමෙ, මල්ලියෙ දැන් කොහොමද?’ ඒ ඔවුන් ගේ පිය තෙපුල් ය.

වසර දහතුනක් තිස්සේ සුව නොවී තිබුණු රෝගය මාස අටක් ගිය තැන නිට්ටාවට සනීප වූ බව ඔබ විශ්වාස කරන්නෙහි ද? විශ්වාස කරන්න! එය එසේ ම සිදු විය.

කලින් මසකට වරක් වුව සිසිල් දිය නොදුටු ම’පුතු දැන් නිතිපතා සිහිල් දිය නායි. අයිස්කී‍්‍රම්, යෝගට්, කොමඩු, අන්නාසි එක සේ රස විඳියි. නිතිපතා පාසල් යයි. අපේ දුක නිම වූ සේ ය.

කටාන, ඇත්ගාල නිදහස් ආයුර්වේදයේ ඉසිවරයාණනි, කාරුණික නැඟණිවරුනි, ඔබ අප ගේ කුටුම්බය ම සුවපත් කළෙහි ය. ඒ වෙනුවෙන් ඔබට පුදන්නට දහසින් බැඳි පියලි අපට නැත.

එසේ හෙයින් මම සුවහසක් ජනී ජනයා හමුවේ මෙසේ කියමි; මෙසේ පතමි.

සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන, මටත් වඩා කල් ඔබ ජීවත්වේවා!’

ප.ලි.

කටාන, ඇත්ගාල නිදහස් ආයුර්වේදය දැයෙන් සමුගත් ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ ඇමැතිවරයාණන් ගේ අදහසක් මල්ඵල ගැනීමක් බව අසා ඇත්තෙමි. ඇමැතිවරයාණනි, සසර වසන තුරු ඔබට එවන් අකල් මරණයක් අත් නොවේවා! යි පතමි.

මීගමුවේ අරුණමාලි එස්.දෙයියන්දර මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.


මිනිස්කම හඳුනන නාඳුනන සොයුරාණ

පාසලේ වොලිබෝල් තරග පැවැති දිනයකි. පිට පාසල් වලින් ද තරග කණ්ඩායම් පැමිණ තිබිණි. මම ද කාන්තා කණ්ඩායමක් නියෝජනය කළෙමි.

තරගය පැවැතියේ කළුතර පාසල් බිමක ය.

මගේ මල්ලී දඟයෙකි. ඔහු දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නෙකි.

පාසල් බිමේ කොන්කී‍්‍රට් රවුමකින් වසන ලද ළිඳක් විය. ඒ රවුම මැදින් බිඳී තිබිණි.

ටිකකින් මා බලන විට මල්ලී බිඳුණු කොන්කී‍්‍රට් රවුමට නැඟ එහි උඩ පනිමින් සිටියේ ය.

මම බියවීමි. වහා ඔහු මුදාගැනීමට අවශ්‍ය වුව ද ඒ වන විට මා සිටියේ මීටර් දෙසීයක පමණ දුරිනි. ඒ තබා මා කෑගැසුවේ නම් ඉන් බියපත් වන මල්ලී ගේ සමබරතාව බිඳී ඔහු ළිඳට වැටීමේ අවදානමක් ද තිබිණි.

එහෙයින් මම කෑගසාගෙන ම ඔහු කරා දුව ආවෙමි. දුවගෙන එන මගේ කෑගෑම ළිඳට කිට්ටුව සිටි වෙනත් පාසලකින් පැමිණි කී‍්‍රඩකයකුට ඇසිණි.

ළිඳ දෙස බැලූ ඔහු වහා දිව ගොස් මල්ලී මුදා ගත්තේ ය. ඒ වන විට ම කොන්කී‍්‍රට් රවුමේ අඩක් ළිඳට වැටිණි. බිය පත් මල්ලී පන්තියට දිව ගියේ ය. මම ද ඔහු පසුපසින් දිව ගියෙමි.

ආගන්තුක කී‍්‍රඩකයා සොයා ඔහුට ස්තුති කිරීමට මා එනවිට කී‍්‍රඩාව යළි ඇරඹිණ. එහෙයින් මට කෙළිබිමට යෑමට සිදුවිය. කී‍්‍රඩාව අවසන් වී එන විට ඔහු ද ඇතුළු කණ්ඩායම පිට ව ගොස් තිබිණ.

තම ජීවිතය පරදුවට තබා මා සොයුරා ගේ ජීවිතය බේරා දුන් නාඳුනන සොයුරාණනි, මිනිස්කමේ නාමයෙන් ඔබට තුති පිදීමට නොහැකිවීම දුකකි.

උතුම් හදවතක් ඇති ඔබ රටට සම්පතකි. ඔබ ගේ පාසලට ද වටිනා වස්තුවකි.

නෙළුම්විලේ මේ ලිපිය පිපෙන්නේ ඔබ වෙනුවෙනි. නාඳුනන සොයුරාණනි, ඔබට යහපත සැලසේවා!

දකුණු වාද්දුවේ පොතුපිටියේ වට රවුම පාරේ, චමරි ප‍්‍රියංකා පෙරේරා මෙනෙවිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.


පිරිනිවන් මංචකය ළඟ පින්වත් උපාසක

කුත් පෝ දිනෙක අපි වන්දනාවේ ගියෙමු. පොළොන්නරුවේ ගල් විහාරය මාගේ සිත් ගත්තේ ය.

එහි සිටි උපාසක තැන පිළිමවහන්සේ ගේ අංග ප‍්‍රත්‍යංග පිළිබඳව පැහැදිලි කර දුන්නේ ඉතා සියුම් ආකාරයෙනි.

ඔහු ගේ හඬ දැනුදු ඇසෙන්නා සේ ය.

’සාරාසංඛෙය්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් දම් පිරූ අප මහ බෝසතාණන් වහන්සේ අවසානයේ තුන් ලෝකාග‍්‍ර සම්මා සම්බුද්ධත්වයට පත් ව, සකල ලෝක සත්ත්වයන් වෙත පතල මහා කරුණාවෙන් තමන් වහන්සේ අවබෝධ කරගත් සත්‍ය ධර්මය ,ජීවිතය පිළිබඳ විද්‍යාව, දුකින් මිදීමේ මග ලෝක සත්ත්වයාට පහදා දී...

’....තමන් වහන්සේ ගේ මේ දිගු සංසාර ගමනේ අවසන් මොහොතට පැමිණ, තව මොහොතකින් සියල්ල අවසන් වන බව දැන, පිරිනිවන් පෑමට පෙර වැඩ සිටින ඉරියව් , මුද්‍රා පැහැදිලි කර දී....’

ඒ අවස්ථාවේ දී ලෝකය කම්පා වූ හැටි පිළිබිඹු කිරීමට ගල්වඩුවා නිර්මාශීලි ව දක්වා ඇති සංකේත පැහැදිලි කළ උපාසක තැන, අවසානයේ අපට පිරිනිවන් මංචකය ද, පිරිනිවන් පා සිටින බුදුපියාණන්ගේ රුවෙහි අංග ලක්‍ෂණ ද විස්තර කිරීමට වූයේ පිරිනිවන් පෑම ද, සැකසීම ද අතර වෙනස පැහැදිලි කරමිනි.

අතු අගකින් නෙළන ලද ළදල්ලක් මෙන් ප‍්‍රාණය නිරුද්ධ ශී‍්‍ර දේහය සායනයේ එබී, තෙරපී ඇති ආකාරය හොඳින් බලන්න!සිරුරේ සකලාංගයන් අප‍්‍රාණික ව, සායනයට බර ව ඇති ආකාරය ගැන විමසිලිමත් වන්න!...’

සැබවින් ම අප මේ සිටින්නේ’ බුදුහාමුදුරුවන් ගේ පිරිනිවන් මංචකය අබිමුවේ නොවේ ම දැයි මට සිතිණ. දෙනෙතින් ගලා ආ කඳුළු නිදහසේ ගලා යෑමට ඉඩදී මම බලා සිටියෙමි, බලා සිටියෙමි, බලා සිටියෙමි.

ගල් වඩු තෙමේ අප සැමට පෙර ඒ සියල්ල හදවතින් දුටුවෙහි ය. දැක රළු කළු ගලෙක ඒ අපුරුව නිමවූයෙහි ය.

උපාසක මහතාණනි, ඔබ ද ඒ සියල්ල අප සවනේද්‍රියෙහි වචනයෙන් ඇද තබන කලාකරුවකු බව ය.

ලෙල්ලොපිටිය , වැලිමළුවේ , එච්.වී.චන්ද්‍රසිරි මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.


උත්තමයකු දුටිමි

සකැවිලි අලෙවි රිය කොට්ටාව නගරය ම සැරසූ සේය.

ඒ කෙරෙහි සිත් බැඳුණු මම දරුවනට යමක් මිල දී ගනු රිසියෙන් නතර වීමි.

වෑන් රියත්, මාත් අතර සිටියේ තරබාරු කතකි. ඇගේ ගනුදෙනුව අවසන් වනතුරු ඉවසිල්ලෙන් සිටි මම රිය තුළ සිටි තරුණයා ඇමතීමි.

’මල්ලි මටත් දෙන්ඩ’

’මෙයා කලින් ඉඳන් ඉන්න කෙනෙක්. මෙයාට දීල දෙන්නං’ වෙළෙඳ තරුණයා කීය.

වියපත්, පැහැපත්, නිවුණු පුද්ගලයා මගේ ඇස ගැටුණේ ඒ මොහොතේදීය. මට මගේ පියා සිහිපත් විය.

’මල්ලි, මේ මහත්තයට දීල ඉන්න. අනේ මම මේ මහත්තයව දැක්කෙ නෑ’යි තරුණයාට කී මම මහත්මයා දෙසට හැරී ‘සමාවෙන්න මහත්මයා’යි කීමි.

’ආ කමක් නෑ දුව . ඒකට කමක් නෑ. මට හදිස්සියක් නෑ. ඔයාලටනෙ ළමා ළපටියො ඉන්නෙ’ ඔහු කීවේය.

වෙළෙඳ තරුණයා ඒ මහතා ගේ රසකැවිලි ගනුදෙනුව නිම කළේය.

මහත්මයා යන්නට පෙරද යළි මට ස්තුති කළේය.

’මං ස්තුතිවන්ත වෙනව දුවගෙ නිහතමානීකමට’

ඔහු මන්දස්මිතයෙන් යුතු ව ම පිට ව ගියේ ය.

මම පිට ව යන ඒ උත්තමයා දෙස බලා සිටියෙමි.

’මේ වගේ අය දකින්න ලැබෙන්නෙ කලාතුරකින්’ කවුදෝ කියනු ඇසිණ.

කිරිවත්තුඩුවේ රන්මලී කලහේ බණ්ඩාර මහත්මිය විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරිනි.