දළ පහර දුටු පමණින්විස ශරීර ගත වූවා යැයිබය වෙන්න එපා
දළ පහර දුටු පමණින්
විස ශරීර ගත වූවා

යැයි බය වෙන්න එපා
විසවීම් නිසා සිදුවන මරණ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට ගැටලුවක්ව පවතී, පළිබෝධක නාශක, සර්ප
දෂ්ටනය, ඇතැම් පැළෑටි හා ඖෂධ වර්ග ද විසමුසු කොට නිෂ්පාදනය කරන හොර මත්පැන් ද ආහාර
විසවීම් නිසා ද මරණ සිදුවේ. විසවීම් නිසා වැඩිපුරම රෝහල් ගත වන්නේ කාන්තාවෝය. නමුත් විසවීම් නිසා වැඩියෙන්ම මිය
යන්නේ පිරිමිය.
අප රටේ විසවීම් නිසා අවුරුද්දකට ලක්ෂයකට ආසන්න පිරිසක් රෝහල් ගත වෙති. මෙහිදී ඒ
නිසා මිය යන සංඛ්‍යාව ද 3000 ආසන්නය. දරුණු ලෙස විස ශරීරගත වූ විට මරණය ක්ෂණිකව සිදුවේ. ඇතැම් විසවීම් නිසා සමහරුන්
මරණයට පත් වන්නේ දුක් විඳිමිනි. පළිබෝධ නාශක විසවීම් බහුලව දකින්නට ලැබේ. ශී‍්‍ර ලංකාව කෘෂිකාර්මික රටක් වන බැවින්
ද අස්වැන්න වැඩියෙන් නෙළා ගැනීමට වෙළෙඳපොළ තරගය අනුව සිදුවී තිබෙන බැවින් ද ගොවීහු
පළිබෝධ නාශක භාවිතයට පෙරට වඩා යොමු වී සිටිති.
එසේම ගොවිපළෙන් වෙළෙඳපොළ දක්වා
අස්වනු බෙදා හැරීමේදී ද නරක් නොවීමටත්, කල්තබා ගැනීමටත් යම් යම් රසායනික ද්‍රව්‍ය
යොදා ගනිති. පළිබෝධනාශක ඉසීමේදී ඒවා ශරීරගතවීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතුය. ඇඳුම්වල තැවරී ඒ
මගින් ද වාතය සමග මුසුවී ආශ්වාස කිරීමෙන් ද ශරීරගත විය හැකිය. පලිබෝධ නාශක
ශරීරගතවීම නිසා රෝගියාගෙන් දැකිය හැකි රෝග ලක්‍ෂණ කිහිපයක් මෙසේය. මුඛයේ සහ උගුරේ දැවිල්ල, මුඛයෙන් හා නාසයෙන් සෙම වැගිරීම, මස්පිඩු නැටීම, හිසරදය,
ක්ලාන්තය, පාචනය, ඇස්වල හා සමේ දැවිල්ල, පෙනීමේ අපැහැදිලි බව, හෘද ස්පන්දනයේ වේගය
අඩුවෙන් හෝ වැඩියෙන් සිදුවීම, වමනය, සෙමෙන් හෝ වේගයෙන් හුස්ම වැටීම, ඇසේ කළු
ඉංගිරියාව කුඩාවීම, බඩ රිදුම, හුස්ම ගැනීමේ අපහසුව, වලිප්පුව, සිහි නැතිව යාම ආදී
ලක්ෂණ ඇති වේවි’ මේ රෝග ලක්ෂණ පළිබෝධ නාශක ශරීර ගතවීමේ ප‍්‍රමාණය අනුව සාන්ද්‍රණය අනුව ක්ෂණිකව හෝ
දින කිහිපයක් ගතවීමෙන් වුවද පෙන්නුම් කළ හැකිය. මරණය සිදු නොවී දිවි රැකුණහොත්
සමහරවිට වකුගඩු හා ස්නායු පද්ධතියට හානි ඇති වීමට පුළුවන. පළිබෝධ නාශක කොතරම් සුළු ප‍්‍රමාණයක් වුවත් සමෙහි තැවරුණහොත් හෝ වෙනත් ක‍්‍රමයකින්
ශරීර ගත වුවහොත් රෝගියා වහාම වෛද්‍යවරයකු වෙත යොමු කර ප‍්‍රතිකාර ලබාදීම
අත්‍යාවශ්‍යය. සවීම්වලට ගොදුරුවන අය රෝහල වෙත රැගෙන යනතුරු රෝගියාට ඒ සඳහා ලබාදිය යුතු
ප‍්‍රථමාධාර රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට හේතු වේ. නිවැරදිව මෙහිදී විනාඩි
කිහිපයකදී වුවද ලබාදෙන ප‍්‍රථමාධාරය රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට ඉවහල් වේ. විස ද්‍රව්‍ය ඇඳුම්වල තැවරී ඇත්නම් එම ඇඳුම් ඉවත් කිරීම, මුහුණේ හෝ ශරීරයේ වෙනත්
ස්ථානයක විස තැවරී ඇත්නම් සබන් ගා හොඳීන් සෝදා දැමීම, රෝගියා වෛද්‍යවරයකු වෙත
ඉක්මනින් රැගෙන යාමට සූදානම් කිරීම, රෝගියාගේ බිය තුරන් කිරීම, ශරීරගතවූ විස හෝ
ආශ්වාසය වූ විස අඩංගු ද්‍රව්‍ය හෝ දියරය ඇතුළත් ලේබලය සහිත පැකට්ටුව හෝ බෝතලය තිබේ
නම් එය වෛද්‍යවරයාගේ දැන ගැනීමට ඉදිරිපත් කිරීම ද ප‍්‍රතිකාර ක‍්‍රම ඉක්මනින් සලසා
දීමට විශාල රුකුලකි. සිහි නැතිව රෝගියා සිටී නම් ඔහු වම්පසට හරවා තැබීම ද සිදු කළ යුතුය. බීමට කිසිවක්
නොදෙන්න. විස ශරීරගත වූ විට ඇතැම් අය ලුණු වතුර, පොල්කිරි, සෝඩා මෙන්ම මත්පැන් ද
ලබා දෙයි’ එවැනි දෙයින් වැළකිය යුතුය. ඇස්වලට විස තැවරුණහොත් පිරිසුදු වතුරෙන් පමණක් විනාඩි දහයක් පමණ වේලා හොඳින් සෝදා
හරින්න. ඇස්වල විස තැවරීම ඇස් රතුවීම, ඇස් ඉදිමීම මෙන්ම සමහරවිට අන්ධ භාවය ඇති වීමට
හේතු වෙයි. ගේදොර පිරිසුදු කිරීම් සඳහා භාවිතා කරන ද්‍රව්‍ය ද, ගම් වර්ග, තිනර් වර්ග හා ඛනිජ
තෙල් ද, බැටරි ද්‍රව්‍ය ද ඇතැම් අවස්ථාවලදී නොසැලකිලිමත් ලෙස භාවිතා කිරීමේදී
විසවීම් ඇති කරවයි.
එසේම විස දුමාර ද ආශ්වාස කිරීම ද හානිදායකය. මෙවැනි අවස්ථාවකදී
විස සහිත පරිසරයෙන් විස දුමාරය ආස්වාස වූ අය වහාම ඉවත් කර ගත යුතුය. සර්පයන් දෂ්ට කිරීමෙන් රජයේ රෝහල්වලට දැන් වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා පැමිණෙන සංඛ්‍යාව
වැඩි වී ඇත. මේ සංඛ්‍යාව 1993 දී 20,066 සිට 2006 වසර වන විට 39693 දක්වා වසරින්
වසර වැඩි වෙමින් පවතී.
සර්ප දෂ්ට කිරීම්වලදී රෝහල්වල අවශ්‍ය ප‍්‍රතිකාර ක‍්‍රම සහ
සර්ප විෂට ලබාදෙන එන්නත් තිබීම මෙසේ රෝහල් ගතවීම් වැඩිවීමට හේතුවී තිබේ. රෝගියා
හැකිතාක් ඉක්මනින් රෝහල් ගත කර ප‍්‍රතිකාර කිරීම රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට කළ
හැකි හොඳම කාර්යයක් වේ. විස සහිත සර්පයෝ ද විසෙන් අඩු සර්පයෝ ද සිටිති. පොළොං වර්ගයේ සර්පයකු දෂ්ට කළ විට මුත‍්‍රා සමඟ ලේ පිටවීම, ලේ වමනය, විදුරු
මස්වලින් ලේ ගැලීම පවා සිදුවේ. ලේ කැටි ගැසීමේ ප‍්‍රවණතාවය අධිකය. වකුගඩු
අකි‍්‍රයවීම ද සිදු වේ. සර්ප දෂ්ට කිරීම්වලදී දෂ්ට කරන ලද ස්ථානය අවට තුවාල වීම ඒ අවට ඉදිමීම හුස්ම ගැනීමේ
අපහසුතාව ඇතිවේ. එසේම හදවතේ කි‍්‍රයාකාරිත්වය අඩාලවී මිය යාමට ඇති අවස්ථා වැඩිය. සර්පයන් ගැවසෙන ස්ථානවල ඇවිදීමේදී ගනකම් සහිත පාවහන් (බූට්) පැළඳ ගමන් කිරීම ගනකම
සහිත දිග කලිසම හෝ දිගට සරම ඇදීම, අඳුරේ ඇවිදීමේදී විදුලි පන්දමක් අතැතිව හා
කෙවිටක් රැගෙන එයින් පොළොවට තට්ටු කරමින් යාම සර්පයන් එම තැන්වලින් පලා යාමට
හේතුවේ. නිවසට සර්පයන් ඒම වළක්වා ගැනීමට නිවස අවට කැලෑ වැවී තිබේනම් ඒවා ශුද්ධ පවිත‍්‍ර
කිරීම ද හුඹස් බෙන ඉවත් කිරීම පඳුරු ඉවත් කිරීම, දිරාපත් වෙමින් පවතින කොටන් ඉවත
දමන කොටස් ගොඩවල් වශයෙන් ගොඩගසා ශුද්ධ පවිත‍්‍ර නොකර සිටීම සර්පයන්ට හොඳ ලැගුම්
ස්ථාන බවට අමතක නොකළ යුතුය. සර්පයන් ජීවත් වන්නේ ද මීයන් ගෙම්බන් හා කසල ගොඩවල් බහුල ස්ථානවල හෝ ඒ ආසන්නයේය. බොහෝ විට සර්පයන් දෂ්ට කරනු ලබන්නේ පාදවලටය. මේ නිසා පෙර මෙහි සඳහන් කළාක් මෙන්
තණකොළ සහ පඳුරු සහිත ස්ථානවලින් ගමන් ගනිද්දී කෙවිටක් රැගෙන එය පොළොවට තට්ටු
කරමින්ද ඇවිදීමේදී පොළොවට කම්පනයන් ඇතිවන අයුරින් ගමන් කිරීම මගින් සුළඟ හරහා
සර්පයන්ට ඇතිවන සියුම් කම්පනයන් හේතුවෙන් සර්පයන් එම ස්ථානවලින් ඉවතට ඇදී යනු ඇත.
එසේම මිය ගියාක් ලෙසින් ඇතැම් විට සර්පයන් සිටින අවස්ථා ද තිබේ. එවැනි අවස්ථාවලදී
අතින් අල්ලා ගැනීමට යාම බෙහෙවින්ම අනතුරුදායකය. දෂ්ට කරන අවස්ථාවේදී සර්පයාගේ විස කෝෂවල සම්පූර්ණ විස තැන්පත් නොවීම හෝ ඒවා ගොදුරක්
සඳහා කලින් මුදාහැර තිබීම ද සිදුවන්නට ඉඩ තිබේ. දෂ්ට කිරීමේදී දළ පහර වැදුණ පමණින්
විස ශරීර ගතවූ බව තහවුරු නොවෙයි. සර්ප විස කි‍්‍රයාකාරී රසායනිකයන් කිහිපයක් සංයෝග
වී සර්පයාගේ විස ග‍්‍රන්ථියේ තැන්පත්ව තිබෙන්නෙකි. මත්පැන් නිෂ්පාදනයට ආදේශයක් ලෙස යොදා ගන්නා එතනෝල් වෙනුවට, මෙතනෝල් යොදා හොර
මත්පැන් නිෂ්පාදනය කිරීමට පෙළඹී සිටිති. ඒවා පානය කිරීමෙන් රෝගාබාධවලට පත්වීම හෝ ඇතැම් විට මරණයට ද සිදුවේ. මෙතනෝල් සුළු ප‍්‍රමාණයක් වුවද ශරීර ගතවීමෙන් ක්ලාන්තය, වමනය, දැවිල්ල, හිසරදය,
කරකැවිල්ල ඇතිවිය හැකිය. මේ සුළු ප‍්‍රමාණයට වැඩි ප‍්‍රමාණයක් ශරීර ගතවූ විට ස්නායු
පද්ධතියට බලවත් සේ හානි ගෙන දෙයි.
සිහිමද ගතිය හා සිහිමුර්ජා වීම ද ඇස් පෙනීම
දුර්වල වී අන්ධභාවයට පත්වීම ද මිය යාමට ද ඇති ඉඩ අවස්ථා ද බහුලය. විස මත්පැන් පානය නිසා රටේ විවිධ පළාත්වලින් පුද්ගලයන් මියගිය අතර මෑතකදී මේ
සම්බන්ධයෙන් වැඩිපුර කතාබහට ලක්වූයේ වැලිවේරියේදී කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 18
දෙනකු මිය යාමේ සිද්ධියයි.
මීට අමතරව ස්නායු ආබාධ හා අන්ධභාවයට පත්වූ කිහිපදෙනකු ද
වෙනත් අතුරු ආබාධ සඳහා ප‍්‍රතිකාර ගන්නා පිරිසක් ද තවමත් සිටිති. පලිබෝධ නාශක, විස සහිත පැලෑටි, සර්ප දෂ්ට කිරීම්, ඖෂධ විසවීම මෙන්ම විස මත්පැන් ගැන
ද දැනුවත් වී අවධානය හා අවබෝධය ඇතිව කි‍්‍රයාකරන්නේ නම් මේවා බොහෝමයක් වළක්වාගත
හැකි බව විසවීම් අනතුරුවලදී ලබාදිය හැකි පණිවිඩයයි. විසවීම් පිළිබඳව මහජනතාවට යම්කිසි තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් කොළඹ ජාතික රෝහලේ
ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ දුරකථන අංක 268614 න් හෝ 2691111 අංකයට ජාතික රෝහල
ඇමැතීමෙන් ලබාගත හැකිය. කොළඹ විශ්ව විද්‍යාලයේ
අධිකරණ වෛද්‍ය හා විසවේද අංශයේ
මහාචාර්ය රවීන්ද්‍ර ප‍්‍රනාන්දු සාකච්ඡාවකින් සකස් කෙළේ
සුනිල් දයා අල්විස්
|