අපි දෙදෙනාම ඇමෙරිකානුවන්!
අපි දෙදෙනාම
ඇමෙරිකානුවන්!
ඔබාමා සහ
මැකේන් කියති
මේධා
ඇමෙරිකාවේ මැතිවරණය අවසානය; බරක් ඔබාමා ජයග‍්‍රහණය කර හමාරය. ඔබාමාගේ ජය ඇතැම්
ලාංකිකයන් පවා තහවුරු කර ගත්තේ මේ ඡන්ද ප‍්‍රතිඵල නිකුත් වෙන්නට ප‍්‍රථමය. ඒ ඔබාමා
හා හිලරි ක්ලින්ටන් අතර ඇතිවූ අපේක්ෂකත්ව තරගයෙන් හිලරි පරාජය වීමත් සමඟය.
‘ඔබාමා’ සිය ජයග‍්‍රහණය තහවුරු කරගන්නවාත් සමඟම ඕස්ටේ‍්‍රලියාවේ අධ්‍යාපනය හදාරන
ඥාති සොහොයුරියකගෙන් මාගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබුණි.
“ඔබාමා ජයග‍්‍රහණය කළා. මම ඉතා සතුටින්. ඔබටත් එවැනි සතුටක් දැනෙනවද?”
ලංකාවේ වෙසෙන සමයේ ඇය දේශපාලනය ගැන හැඟීමක්, දැනීමක් ඇතිව නොසිටියේ යැයි කිවහොත් එය
සැබෑවකි. රූපවාහිනි දේශපාලන සංවාදයකට ඇය කිසි දිනක ඇහුම්කන් නුදුන්නාය. පුවත්පතක
පළවෙන දේශපාලන ලිපියක් හෝ කියෙව්වේ නැත. මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීම ද ඇය
ප‍්‍රතික්ෂේප කළාය. එබැවින් ඇයගේ කෙටි පණිවිඩය මට විස්මයක් විය. එබැවින් කෙටි
පිළිතුරක් දෙනු වෙනුවට මම ඇයට දුරකථනයෙන් ඇමතුවෙමි.
ඇමෙරිකාවත් ඡන්දෙ දුන්නෙ වෙනසකට. ඔබගෙත් සැබෑ වෙනසක්!
එංගලන්තයේ වෙසෙන තවත් ඥාතිවරියක් මා සමඟ කළ කථා බහකදී පවසා සිටියේ තමන් ඔබාමාගේ
ජයග‍්‍රහණය වෙනුවෙන් දෙවියන්ට යාච්ඤා කළ බවකි. එය ද මට විස්මයක් විය. ලොව හැම
අස්සක් මුල්ලක්ම ඔබාමා ගැන විමසිල්ලෙන් සිටි බව ඉතා පැහැදිලිය. ලෝකයේ මෙන් ම ලංකාවේ
ද බහුතරයක් ඔබාමා ගැන බලාපොරොත්තු තබා තිබිණි. ඊට හේතුවක් විය. එනම් ඔබාමාට,
ඇමෙරිකානු ජනතාවට මෙන්ම ලෝකයට ද ඇමෙරිකානු දේශපාලනයේ වෙනසක් අවශ්‍යව තිබුණ බැවිනි.
මේ සටහන සැබැවින්ම ඒ වෙනස ගැන හෝ ඇමෙරිකානු ඉතිහාසයේ ප‍්‍රථම වරට කල්ලෙක් ජනාධිපති
වීම ගැන හෝ කල්ලෙක් ජනාධිපති කරවීමට තරම්, ඇමෙරිකානු ජනතාවගේ දේශපාලන පරිවර්තනය ගැන
හෝ නොවේ. මේ ජයග‍්‍රහණයෙන් පසු බරක් ඔබාමා හා පරාජයෙන් පසු ජෝන් මැකේන් ජනතාව
ඉදිරියේ කළ ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් යම් විමසීමක් කිරීමටය.
ඇමෙරිකාවේ දේශපාලනය ගැන මේ ප‍්‍රකාශයන් මඟින් සුදුහුණු ගාන්නට කිසිසේත්ම අදහස්
නොකරමි. එහෙත් ඇමෙරිකාවේ සියල්ල කාල වර්ණයෙන් වසා දැමීමට ද අවශ්‍ය නැත.
පරාජයට පත්වූ ජෝන් මැකේන් සිය පරාජය හිස නමා බාර ගැනීමට තරම් මහත්මයකු විය. හොර
ඡන්දවලින් ජයග‍්‍රහණය කළ බවට ඔබාමාට චෝදනා නොකළ මැකේන් ඔහුට සුබ පැතුවේ, සුබ පැතීමේ
අවස්ථාවක් ලැබීම ද ගෞරවයක් කොට සලකමිනි. ඔබාමාට සිය ගෞරවය උපරීම ලෙස දැක්වූ මැකේන්
පවසා සිටියේ තමා මෙතෙක් එරට ජනාධිපති අපේක්ෂකයා වුවද එදින රාති‍්‍රයෙන් පසු එරට
සේවකයකු වන බවය.
ඔහු සිය පාක්ෂිකයන් ඔබාමාට හෝ ඔබාමාගේ පාක්ෂිකයන්ට විරුද්ධව උසි ගැන්වූයේ නැත. ඒක
පාර්ශවීය රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවාගෙන ඒ ජයග‍්‍රහණය හෙලා දැක්කේ ද නැත.
ත‍්‍රස්තවාදීන් සමඟ ගිවිසුම් අස්සන් කළා වැනි චෝදනා නැඟුවේ ද නැත. පරාජයේ වරද තමන්
බාර ගන්නා බව පැවසූ මැකේන් මෙතෙක් තමන්ට සහය දුන්නා මෙන්ම ඉදිරියේදී ඒ සහය ඔබාමාට ද
ලබා දෙන ලෙසට සිය ජනතාවගෙන් ඉල්ලා සිටියේය. තමා හා ඔබාමා අතර ඇති වෙනස්කම්
ඉදිරියේදී ද සමාන නොවන බව පැවසුවත් ඔහු ඔබාමාට සහයෝගය දීමට ප‍්‍රතිඥා දුන්නේය.
ඔබාමාගේ ප‍්‍රකාශය ද මැකේන් ගේ ප‍්‍රකාශයට නොදෙවෙනි විය. තමන්ට සිතන්නටවත් බැරි
තරම් කැපවීමක්, සේවයක්, ඇමෙරිකාව වෙනුවෙන් මැකේන් කර ඇති බවට ඔහු ප‍්‍රකාශ කරන්නේ
මැකේන්ට සිය ඉහළම ගෞරවය පුද කරමිනි. තම පාක්ෂිකයන් හෝ තම බලය, මැකේන් හෝ ඔහුගේ
පාක්ෂිකයන් හෙළා දැකීමට යොදා ගන්නවා වෙනුවට ඔහු කියා සිටියේ මැකේන් වැනි
ඇමෙරිකානුවන්ගේ කැපවීම නිසා අද තමා ඇතුළු ඇමෙරිකානුවෝ යහතින් ජීවත්වෙන බවය.
ඔබාමාගේ මෙන්ම මැකේන් ගේ මේ ප‍්‍රකාශ අතර ඝට්ටනයක් නොවූ තරම්ය. දෙදෙනාම ආමන්ත‍්‍රණය
කර තිබුණේ ඇමෙරිකානුවන්ට මිස සිය පාක්ෂිකයන්ට නොවේය. ජනතාව ඔල්වරසන් දුන්නේ ද
ඇමෙරිකා! ඇමෙරිකා! යනුවෙන් ඇමෙරිකාවට මිස සිය අපේක්ෂකයාට හෝ පක්ෂයට හෝ නොවේ.
අනෙක් කරුණ නම් සිය රට යුද්ධ දෙකක පැටලී සිටින බව හා ඉන් තමන් දැඩි ආර්ථික
අර්බුදයකට මුහුණ දී සිටින බව මේ දෙදෙනාම ප‍්‍රසිද්ධියේ පිළිගැනීමය. දරුවන් නිදද්දී
ඔවුන්ගේ පාසල් ගාස්තු ගෙවන්නේ කෙසේද යන්න ගැන නිදි වර්ජිතව සිතන මාපියන් සිටින බවට
සඳහන් කරන ඔබාමා රටේ ආර්ථිකය කෙතරම් පරිහානියට ලක්ව ඇත්ද යන්න ඉන් හෙළි කරයි. මේ
තත්ත්වයෙන් රට ගලවා ගැනීම අසීරු වුවද ඒ ඉලක්කයට යාම තම අභිප‍්‍රාය බව පවසන ඔබාමා
මෙතෙක් රට කෙරූ පාලකයන්ට දෙස් දෙවොල් තැබීමෙන්, ගැරහීමෙන් හා විවේචනය කිරීමෙන්
වළකියි.
මිනිසුන් හඳට යැවූ විද්‍යාඥයන් සිටින ඇමෙරිකාවේ නායකයෝ තවමත් සිය කථා අවසන් කරන්නේ
ඇමෙරිකානු ජනතාවට දේවාශිර්වාදය පතමිනි. ඒ ප‍්‍රාර්ථනාවෙන්ද ඔබාමා හා මැකේන් සමානය.
අඩුම තරමින් ලංකාවේ ජනතාවට දෙවියන්ගේ පිහිටයි කියන්නට පොදු එකඟතාවකට පැමිණීමට සියලු
දේශපාලනඥයන්ට හැකිනම් එය ද ප‍්‍රමාණවත්ය.
|