
අප කන හාල්
සහ
අපව කන හාල්
පසුගිය කාලයේ දේශයක් වශයෙන් අපි එක් වැදගත් ජයග‍්‍රහණයක්
ලබාගත්තෙමු. ඒ පාන් පිටි කෑම අඩුකිරීම ය.
ඒ වෙනුවට හාල් විකල්පයක් වේ යැයි අපි බලාපොරොත්තු වුණෙමු. ඒ
බලාපොරොත්තුවට පදනම් වූ වැදගත් සාධක දෙකකි. එකක් පාන් පිටි
වෙනුවෙන් පිටරට යන මහා විශාල මුදල් කන්දරාව ඉතිරි කර ගැනීම ය.
අනෙක වී විකුණාගත නො හැකි ව කලකට පෙර වස බිව් දේශීය වී ගොවියාට
හොඳ කලක් උදා කිරීම ය.
එසේ ම තුන්වේලට ම බත් කෑ ජාතියක් තුන්වේලට ම පාන් කෑ ජාතියක්
බවට පත් ව තිබීමේ ඛේදවාචකයෙන් මුළු රට ම මුදා ගැනීම ද එකී
ව්‍යායාමයේ තවත් පරමාර්ථයක් බවට පත් ව තිබිණි.
එහෙත් පාන් පිටි වෙනුවට ආසන්නයේ ම ඇති විකල්පය වූ හාල්,
යක්ෂාවේශයෙන් මෙන් ගණන් ගියේ ය. එයට හේතු සාධක රාශියක් බලපෑ බව
ඇත්තකි.
* හාල් ඉල්ලුම වැඩිවීම
* ලෝකයේ දියුණු රටවල් ධාන්‍යවලින් ඉන්ධන නිපදවන්නට පටන් ගැනීම.
මෝටර් රථයක ඉන්ධන ටැංකිය එක් වරක් පිරවීමට අවශ්‍ය ඉන්ධන
ප‍්‍රමාණය නිෂ්පාදනය කිරීම සඳහා මිනිසකු වසරකට බුදින ධාන්‍ය
ප‍්‍රමාණයක් අවශ්‍ය බැව් විමර්ශනයක දී හෙළි වී තිබිණි.
එහෙත් ශ‍්‍රී ලංකාවේ බොහෝ පාරිභෝගිකයෝ මේ හේතු කාරණා ගැන නො ව
හාල් මිල වැඩිවීම ගැන කතා කළ හ. බල ලෝභී දේශපාලකයන්ට ද හාල්
හොඳ “බයිට් එකක් “ විය. ඔවුහු හාල් මිල වැඩිවීම ලෝක පරිමාණ
දෙයක් බව දැන සිටිය හ.
එහෙත් කොළේ වසා ඔවුහු දේශපාලන කපෝතියක්
කෙළින්නට උත්සාහ ගත් හ. හැමදාමත් පොදු ජනතාවට එරෙහි වන
ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයේ ඇතැම් ද්‍රෝහී කොටස් මේ කපෝතියට
වල්වාසි රැගෙන දෙන්නට උත්සාහ ගත් බව ද නොරහසකි.
අනෙක් අතට අපේ ආර්ථිකයට ද වල් බූරු නිදහසක් ලැබී තිබේ. ගැට
ගැසූ ආර්ථිකයක් දේශයක සංවර්ධන කි‍්‍රයාවලියට හරස් කපන්නට ඉඩ
තිබෙන බව ඇත්ත ය. එහෙත් ඉමක් කොනක් නැති සේ විවෘත වූ ආර්ථිකයක්
ඇතැම් විට ජනතාවට ද්‍රෝහී වනවා පමණක් නො ව දේශයක කඩාවැටීමට ද
හේතුවීමට ඉඩ තිබේ.
මන් ද යත් ආර්ථිකය විවෘත වන තරමට එයට සම්බන්ධ වන ව්‍යාපාරිකයන්
ගේ හෘදය සාක්ෂ්‍යය විවෘත නොවන බැවිනි.
විවෘත වෙළෙඳ පොළෙහි “හාල් මිල” පිනුම් ගසන්නට පටන්ගත්තේ මේ
වල්බූරු නිදහස දඩමීමා කරගෙන ය.
ඒ නිසා ආර්ථිකය යළි කණුවක තබා ගැට ගසන්නට නො ව, පොදු ජනතා
පාරිභෝගිකයා වෙනුවෙන් පිනුම් ගසන හාල් ඇටයට මට්ටුවක් කරන්නට
රජයට සිදුවිය.
හාල්වලට මිල පාලනයක් ඇතිවූයේ එසේ ය.
ආසියාව පුරා ම හාල් ප‍්‍රශ්නයක් ඇති වී තිබෙන බව ඇත්ත ය. ඒ
පසුබිමට මුවා වී හාල් මිල පාරිභෝගිකයා බියපත් කරන යක්ෂයකු බවට
පත්වන්නට ඉඩ හැර නිහඬවීමට රජයකට ඉඩක් නැත.
අපේ වෙළෙඳ පොළ අප සිතන තරම් විවෘත නැත. හාල් ගෝනි, පරිප්පු
ගෝනිවලින් යුත් වෙළෙඳ පොළෙහි බලලෝභී දේශපාලනයට ද සැඟවී
සිටින්නට ද අහුමුලු නිර්මාණය වී තිබෙන බැවිනි.
ජනතාවට හාල් කන්නට පහසුකම් සලසනවා මිසක හාල්වලට ජනතාව කන්නට ඉඩ
දිය යුතු නො වේ.
ඒ අනුව හාල් මිල පාලනය කරන්නට රජය ගත් පියවර ජනතා හිතකාමී
පියවරක් වශයෙන් හැඳින්වීම අතිශයින් ම සාධාරණ ය.
එහෙත් දැන් හාල් වෙළෙන්දෝ යුද වැද සිටිති; හාල් හංගති; කඩ
වසති.
විවෘත වෙළෙඳ පොළ ආර්ථිකයේ යක්ෂාවේශ පාර්ශ්වය මෙසේ හෙළිදරව් වී
ඇත.
මේ යක්ෂාවේශ පාර්ශ්වය පරාජය කොට ජනතා හිතකාමී වෙළෙඳ පොළක්
නිර්මාණය කිරීමට රජයට ශක්තිය ඇතැ යි අපි විශ්වාස කරමු. |