සැබෑවට ම අලුත් වෙමු

විසි වසරකට පසුව මුළු නැඟෙනහිරම ආලෝකවත් කෙරෙයි

පොලිස් ලොක්කන් 10 ක් රහස් පොලීසියට කැඳවයි

කොටින්ගේ ම්ලේච්ඡ වැඩ අපි කවදත් හෙළා දකිනවා

ඇමැති ඝාතනය වූයේ කාගේ වරදින්ද?

අලුත ගෙනා අස්වැන්නෙන් රැඳවියනට අවුරුද්දට කිරිබත්

සබරගමුව ම අස්වද්දන්න කල්තොට ජලාශයෙන් වතුර

රංගන දිවියේ නැවුම් පැතුම් සමඟ

ඩයලොග් වෙළෙඳ ප‍්‍රදර්ශන තරගාවලියෙන් 33 දෙනකුට සම්මාන

රේඩියෝ සිලෝන් කාලෙත් නිවේදකයන්ට සිංහල පංති තියන්න සිද්ධ වුණා

ටිකිරි හමුව

සැබෑවට ම අලුත් වෙමු

මේ ශී‍්‍ර ලාංකිකයන් අලුත් වෙන දින කිහිපයයි.

ඔවුන් මේ වන විටත් අලුත් වී ඇතුවාට සැකක් නැත.

කවුරුන් හට්ටි මුට්ටි පොළොවේ ගැසුවත් හැම ගෙදරකම කිරිබතක් උයන එක නවත්වන්නට කිසි කෙනකුට නොහැකි ය. හට්ටි මුට්ටි පොළොවේ ගැසූ මන්ද බුද්ධිකයන් කිහිප දෙනා පවා සැමට හොරෙන් අලුත් මුට්ටියක කිරිබතක් උයා දරුවන් සමඟ නැකතට අනුභව කරනු නිසැකය. එසේ නොකරන්නේ නම් ඒ හට්ටි මුට්ටි බිඳීමේ ව්‍යාපාරයට නායකත්වය දුන් විපක්ෂ නායකවරයා පමණක් විය හැකිය.

ළිපෙහි අළු ඉවත් කොට හුඹස් මැටි මුසු කළ ගොම ටිකක් ගා ළිප් ගල් තුන අලුතින් සකස් කිරීමට සිංහල ගැමි කාන්තාව උනන්දු වන බව නොදන්නා කෙනෙක් නැත.

තමන්ට හැකි අයුරින් දරුවන්ට ඇඳුමක් කැඩුමක් රැගෙන දී අග්ගලා ගෙඩියක් දෙකක් හදා දී ඔවුන්ව සතුටින් තියන්නට උනන්දු වන මාපියන් මෙවරද කෙසේ හෝ එය ඉටු කරනු නිසැකය.

ජීවන වියදම වැඩි බව රහසක් නොවේ. ලෝක පරිමාණ අර්බුදයකට අපට මුහුණ දෙන්නට සිදුවී ඇතත් අපේ සාම්ප‍්‍රදායික හෙළ ගති සිරිත් සහ සංස්කෘතික උරුමයන් හැකි පමණින් ඉටු කිරීමට සැබෑ “සිංහලයෝ’ උත්සාහ දරති. එය ඔවුන්ගේ යුතුකමක් මෙන්ම වගකීමක් වශයෙන් ද ඔවුහු සලකති.

එහෙත් අලුත් වීම යනු කුමක් ද? හට්ටියක් මුට්ටියක් ගැනීම, ඇඳුමක් කැඩුමක් ගැනීම, ගේ දොර පවිත‍්‍ර කිරීම ආදි දේ තුළින් පමණක් ද අපට අලුත් විය හැක්කේ? අලුත් විය යුත්තේ?

එහෙත් සැබෑ අලුත්වීම යනු මේ දේවල් ම නොවේ. ඒවා අලුත්වීමේ අත්‍යවශ්‍ය අංග බව සැබෑය. එහෙත් සැබෑ අලුත්වීම යනු එපමණක් ම නොවේ. සැබෑ අලුත් වීමේ වැදගත්ම සාධකය වන්නේ අන් කිසිවක් නොව අලුත් සිතුවිලි පහළ වීමයි.

ඇඳුම් කැඩුම්, හට්ටි මුට්ටි ආදිය අලුත් වුවද අප තුළ ඇත්තේ පරණ සිතිවිලිම නම් ඒ අලුත්වීමෙන් වැඩක් වේ දැයි සිතා බැලීම වටී. මිනිසුන් වශයෙන් ගුණාත්මක අලුත් වීමක් සිදුවිය යුතු කාලය පැමිණ තිබේ.

අපේ දේශපාලන සිතිවිලි ද අලුත් විය යුතු කාලය පැමිණ තිබේ. වැරහැලි වූ ඇඳුම් කැඩුම් වෙනුවට අලුත් ඇඳුම් කැඩුම් වලින් සැරසෙන්නාක් මෙන් මකුළු දැල් කඩා ගෙදර මූසල පෙනුම ඉවත් කරන්නාක් ;මන් රසකැවිලි වලින් අලුත් අවුරුදු කෑම මේසය වර්ණවත් කරන්නාක් මෙන් වැරහැලි වූ දේශපාලන සිතිවිලි ඉවත් කොට අලුත් දේශපාලන සිතිවිලි ඇති කර ගත යුතු කාලය පැමිණ තිබේ.

මූසල දේශපාලන මකුළු දැල් ඉවත් කොට පුළුල් දේශපාලන සිතිවිලි ඇති කර ගත යුතු කාලය පැමිණ තිබේ. පිළුණු ආහාර බඳු පටු ආත්මාර්ථකාමී බලලෝභී දේශපාලන සිතිවිලි වෙනුවට රට ගැන සිතෙන පුළුල් දේශපාලන සිතිවිලිවලින් අප සැරසිය යුතු කාලය පැමිණ තිබේ.

විශේෂයෙන් තනි තනි මිනිසුන් වශයෙන් නොව රටක් වශයෙන් සිතන්නට උගන්වන දේශපාලනයක්, කට බඩ ගැන පමණක් සිතෙන උදර දේශපාලන සිතිවිලි වෙනුවට රට දැය ගැන ද සිතෙන උදාර සිතිවිලි උපදවන දේශපාලනයක් වෙනුවෙන් අප අලුත් විය යුතුය.

අලුත් අවුරුද්ද ගෙවී යනු ඇත. තවත් ටික දවසකින් ඇඳුම් කැඩුම් යළි පරණ ඒවා බවට පත් වෙයි. යළි මකුළු දැල් බැඳීමටද ඉඩ තිබේ. කෑම මේසයෙන් රස කැවිලි ඉවත් වෙයි.

රතිඤ්ඤා හඬ ද නැවතෙයි. අවුරුදු සමයේදී අප අලුත් කළ බොහෝ දේ යළි පරණ වෙයි.

එහෙත් අපේ සිතිවිලි අලුත් වූයේ නම් ඒ ඔස්සේ තව තවත් අලුත් සිතිවිලි මැවෙනු ඇත. අලුත් සිතිවිලිවලින් යුක්ත වූ මිනිසා සැමදා අලුත් වනු ඇත.

අලුත් වෙන දේශපාලනය විසින් අලුත් රටක් නිර්මාණය කරනු ලබනු ඇත.

කට බඩ ගැන සිතන දේශපාලනයේ සිට රට දැය ගැන සිතන දේශපාලනයක් දක්වා අපට අලුත් වන්නට හැකි වූයේ නම් ඒ අලුත් බව කිසිදා ඉවත් වන්නේ නැත.

ඒ නිසා සැබැවින් ම අප අලුත් විය යුතුය.