
කැලණිය සහ රාජකීය විදුහල
බැලූ බැල්මට කැලණිය සහ රාජකීය විදුහල අතර කිසිදු සම්බන්ධයක්
නැත. එහෙත් පසුගිය දවසක කැලණියත් රාජකීය විදුහලත් එක් ව දේශයට
අලුත් පාඩමක් කියා දුන්නේ ය. නව පූර්වාදර්ශයක් සැපැයී ය. සමාජය
පුරා මුල් බැස ගෙන තිබුණු අසුබවාදී ආකල්ප රැසක් අවලංගු කර ලී
ය. මේ සටහන ඒ මහඟු කි‍්‍රයාවට දක්වන උපහාරයකි. පළමුවෙන් කැලණියේ ගුවන් පාලම ගැන කතා කරමු. පිටස්තර අය නො ව අප
අප ම සිතාගෙන සිටියේ අපේ රටේ මිනිසුන් කලට වේලාවට වැඩක් නො කරන
කම්මැලි, කඩිසරකමක් ගෑවිලාවත් නැති කොටසක් කියා ය. පුංචි බෝක්කුවක් තනන්නටත් අවුරුද්දක් දෙකක් නැත්නම් ඊටත් වඩා
කලක් ගත කරන ජාතියක් ගැන වෙන දෙයක් කියන්නට ද ඉතිරි ව තිබුණේ
නැත. “නාකි බල්ලන් කොළඹ යන්නා සේ” කීවාක් මෙන් වැඩක් පොළක් සැලැසුම්
කොට ඉලක්කයකට කිරීමේ පුරුද්දක් අපේ ජන සමාජය තුළ තිබුණේ නැතැ
යි කීම සාධාරණයක් නැත්තේ ද නො වේ. එහෙත් මේ ආකල්පය කැලණිය ගුවන් පාලම ගොඩ නැංවූ අපූරු මිනිසුන්
විසින් අවලංගු කරන ලදී. වැඩ ප‍්‍රමාද කිරීම පිළිබඳ වාර්තා තැබූ
ජාතියක් ලෙසින් ප‍්‍රකට ව සිටි අපි දින 61 කින් දැවැන්ත ගුවන්
පාලමක් ඉදිකොට ලෝක වාර්තාවක් තැබුවෙමු. දින 65 කින් එවැනි
පාලමක් ඉදිකොට පිලිපීනය තබා තිබූ වාර්තාව බිඳ හෙළන්නට අපේ
මිනිස්සු සමත් වූහ. අප බොහෝ විට ලියන්නේ කියන්නේ අපේ නොහැකියාවන් ගැන ය. අඩු
ලුහුඬුකම් ගැන ය; දුර්වලතා ගැන ය. එහෙත් උද්දාමයෙන් යුක්ත ව
යමක් සටහන් කරන්නට අපට අවස්ථාවක් ලැබී තිබේ. මේ සටහන එවැනි
උදාන වාක්‍ය සමූහයකි. සැබැවින් ම සහෝදරවරුනි...! අපට පිළිවෙළට කලට වේලාවට වැඩක් කළ
හැකි ය. කඩිසරකම අපේ මිනිසුන් තුළ ඇත. එය මතු කර ගැනීම එතරම්
අපහසු දෙයක් නො වේ. කැලණිය ගුවන් පාලම අපට කියා දුන් ඓතිහාසික
පාඩම එය යි. පිටරටවල් ගැන පුරාජේරු කතා කීම නවතා දමා අපේ මිනිසුන් ගැන මෙසේ
පුරාජේරු කතාවක් කීමට ලැබීම කෙතරම් භාග්‍යයක් ද? දැන් අපි කොළඹ රාජකීය විදුහල දෙසට හැරෙමු. ජාතික රූපවාහිනී
සංස්ථාව සංවිධාන කළ “රන් අස්වනු මංගල්‍ය” දීප ව්‍යාප්ත වැඩ
සටහනේ පාසල් අංශයේ හොඳ ම ගෙවත්ත තේරීමේ තරගයේ දෙවැනි ස්ථානය
දිනා ගැනීමට රාජකීය ශිෂ්‍යයෝ සමත් වූහ. මෙය ද අපූරු පාඩමකි. පළමු ස්ථානය දිනා ගත් ඇහැටුවැව විදුහල ගැන නො කියා දෙවැනි තැන
ගත් රාජකීය විදුහල ගැන සටහනක් තබන්නේ එය ද අලුත් ආකල්ප රැසක්
මතු කර සමාජයට දුන් නිසා ය. ශී‍්‍ර ලංකාවේ සිටින දක්‍ෂතම දරුවන් එක් රැස් කොට “වෛද්‍ය
විද්‍යාලයට මෙන්න මෙච්චර සමත් වුණා” යැයි කීම එතරම් දෙයක් නො
වේ. ලබාගත් රගර් ශූරතාවක් ගැන හෝ පිහිනුම් ශූරතාවක් ගැන දෙඩීම
ද එතරම් දෙයක් නො වේ. එහෙත් රාජකීය සිසුන් වගා තරගයකින් ජයග‍්‍රහණය කළැ යි යන්න තව
දුරටත් විස්තරාත්මක කතාබහට ලක්විය යුත්තකි. රාජකීය විදුහලට දරුවන් එවන්නේ දොස්තර මහත්තුරුන් කරන්නට ය.
ඉංජිනේරු මහත්තුරුන් කරන්නට ය. එසේ නොමැති ව වගා කරන්නට නො වේ. උදැල්ල ඇල්ලීම රාජකීය සිසුන්ට අයිති දෙයක් නො වේ. කි‍්‍රකට්
පිත්ත ඇල්ලුවාට කමක් නැත. එහෙත් උදලු මිට රාජකීය සම්ප‍්‍රදායය
නො වේ. මෙතෙක් පැවැති ආකල්පය එය යි. එහෙත් පසුගිය දා රාජකීය සිසුහු
තමන් පිළිබඳ ව මෙතෙක් සමාජය තුළ තිබුණු මේ ගතානුගතික ආකල්පය
අවලංගු කළ හ. ගහක් කොළක් සිටුවීම සෑම දෙනා ගේ ම ජීවිතයේ කොටසක් විය යුතු
යැයි ඔවුහු පෙන්වා දුන් හ. වගාව අයිති පොළොන්නරුවට හෝ මොනරාගලට
පමණක් නො වේ. කොළඹ කුරුඳුවත්තට ද වගාව අයිති ය. වැදගත් වන්නේ මේ නව ආකල්පය යි. පාසල යනු ඉදිරි පරපුර තුළ ආකල්ප
රෝපණය කරන සාර භූමියක් විය යුතු ය. කැලණිය ගුවන් පාලම ද රාජකීය විදුහලේ ගෙවත්ත ද අපට කියාපාන්නේ
අපේ ජන සමාජය තුළ සුබවාදී ගුණාත්මක විප්ලවයක් සිදුවී ඇති බව ය. මේ පූර්වාදර්ශයන් සමාජගත කිරීම අප සෑම දෙනා ගේ ම යුතුකම සහ
වගකීම විය යුතු ය.
|